Friday, November 2, 2012

බලාපොරොත්තුව - II

මේ බලාපොරොත්තුව කතාවේ දෙවනි කොටස..පලවෙනි කොටස බලපු නැති අය මෙතනින් ගිහින් ඒ කොටස බලලම මේක කියවන්න....

නර්මදා, තිසර කියන්නේ කවුද, එයාලා හමුවුන විදිය ඒ කොටසේ තියෙනවා...එතැන් සිට,


     එදා දවස පුරාම පන්තියේ පු‍ටුව උඩ තිබුනේ මගේ ඇඟ විතරයි.හිත ආයෙ ආයෙත් ගිo ගඟේ වේල්ලට දුවගෙන ගිහින් ඇයත් එක්ක වැස්සේ පියමන් කරා.

      ඇය පන්තියේ වාඩිවෙලා හිටියේ මට වඩා පේලි කීපයක් ඉස්සරහින්.පාඩමට හිත යොමු කරගෙන කළු ලෑල්ල දිහා බලන් ඉන්න කොයිතරම් උත්සාහ කරත් ඇගේ ලගින් නවතින ඇස් කීකරු කරගන්න මට බැරි වුනා. ගිණුම්කරණය පාඩම අතරතුරේ එයා පිටිපස්සට හැරුනු වෙලාවක අහම්බෙන් අපේ ඇස් එකට ගැ‍ටුනා. ඇය ඉක්මනින් ඉවත බලාගත්ත නිසා ඒ බැල්මේ තිබුනේ මොනවගේ හැඟීමක්ද කියලාමට තේරුම් ගන්න වෙලාවක් තිබුනෙ නැහැ.

    ඒ හැරත් තමන් ආදරය කරන ඇස් දෙක තමන් වෙතට යොමු වීමේ ආනන්දයෙන් ඉන්න තුරුණු ආදරවන්තයෙකුට එහෙම විමසන්න වුවමනාවකුත් නෑ.

"ආහ් ලොක්කා" පැතුම්ගේ කටහඬින් මම හීන ලෝකෙන් අවදි වුනා.

"ඇයි මොකද"

"නෑ මචo මම මේ බැලුවේ නර්මදා තාම ඉතුරු වෙලා ඉන්නවද කියලා"

"ඒ.. ඒ මොකද?"

"ඇයි මෝඩයො උඹ උදේ ඉදන් කන්න වගේ ඒකි දිහා බලන් ඉන්නවනේ.මම හිතුවේ දැන් කාලා දිරවලත් ඇති කියලා."

"එහෙම එකක් නෑ බන්"

"අනේ බන් මට කොලේ වහන්න හදන්නෙපා තිසර.අවුලක් නෑ කරගනින්. ඒ කෙල්ල අහින්සකයි.මම දන්නවා අනිත් උන් වගේ ආතල් එකට නෙමෙයි උඹ ඒකි පස්සේ යන්නේ"
මම මුකුත් නොකියා කර බා ගත්තා.

"පරක්කු වෙන්නෙපා මචෝ.වචනයක් දාලා තියපන්. අප්පමාදෝ අමත පදo. දන්නවනේ හර්ෂයත් කුරුමානම් අල්ලනවා"

"බලමු"

"මොනවා බලන්නද.උඹ ට්‍රයි කියලා එයා කොහොමත් දන්නවනේ.කටින් කියන්න විතරයි තියෙන්නේ"

"එයා කොහොමද ඒක දන්නෙ" පැතුමගෙ කට ගැන දන්න මම සැකෙන් ඇහුවා.

"මුලු පන්තියම ඕක දන්නවා. එයා නොදැන ඉන්න බබෙක්ද"
පැතුම් හිනාවෙලා ඉවතට ගියත් මගේ හිත මහ අවුල් ජාලාවක් උනා....

"එයා මේ ගැන දන්නවානම් මගෙ හිතුවිලි තව දුරටත් හoඟාගෙන ඉඳලා පලක් නෑ."
ඒත් මේ ගැන අහන්න ගිහින් අපේ අතරේ ඇතිවෙලා තිබුන හිතවත්කම පළුදු කරගන්න මගේ හිත දුන්නේ නෑ. හිතවත්කම ‍රැකගන්න ගිහින් වෙන හෙනහුරෙක් පාත් උනොත් හිතවත්කමත්, ආදරයත් දෙකම නැති වෙන එකනම් ලෝක ධර්මතාවයක්.

    පාසල අවසන් වෙලා බස්රියෙන් බැහගත්ත අපි වේල්ල දිගේ පියමනින්න පටන්ගත්තා.උදෑසන සිදුවීමෙන් පස්සේ මට ඇය එක්ක සමාන්තරව ගමන් කරන්න තරම් හිත හයියවෙලා තිබුනා.ටිකක් වෙලා තිබුන නිහැඬියාව ඇයම බිඳලා දැම්මේ මට කතාකරගන්න බැරුව කියලා තේරුම් අරගෙන වගේ.

"අද කියලා දීපු 'අකවුන්ට්ස්' තේරුනාද?"

"ම්ම්... නෑනේ.ඒ ටිකනම් හොඳටම අවුල්.මුකුත්ම තේරුනේ නෑ."

"කොහේ තේරෙන්නද.. වෙන ලෝකවල නේ ඉන්නේ"

මම කරබා ගත්තා..

"හෙට ඒකේ අන්තිම ටික කියලා දේවි.එතකොටවත් අල්ලගන්න බලන්න"

"බලමු"

"බලමු කියන්නේ. ඇයි උවමනාවක් නැද්ද?"

"තියෙනවා" කතාව පටන් ගත්ත වෙලේ ඉදන් ඇය දාර්ශනික කතා කියන්න පටන්ගෙන.

"අරමුණු තියෙනවා.ඒත් කැපකිරීම කරන්න කම්මැලි නේද?"
මේ මාත් එක්ක උදේ කුඩේ යටින් ගිය දඟකාර යුවතියමද කියලා මට හිතුනා.ඒ කතාවට මගෙන් වැඩි දායකත්වයක් නොලැබුනු තැන ඇය නිහඬ වුනා.ඇය වෙන්ව යන ගුරු පාර අසලට ආව අපි දෙන්නාම නැවතුනා.

"මම එහෙනම් යන්නම්"
මට මුකුත් කියාගන්න බැරිඋන නිසා හා කියන්න වගේ ඔලුව වැනුවා.

මම එතැන ඉදන් ගෙදර ආවේ අමුතු ලෝකෙක හිතෙන් සැරිසරමින්.ඒ ලෝකේ ඇයත් මමත් අත් පටලවාගෙන ඇවිද්දා.එකිනෙකා දිහා ඇස්පිය ගහන්නැතුව බලාගෙන හිටියා.එදා හවස් වරුවෙම ඒ ලෝකෙට සම වැදිල හිටි මම අවසානේ තිරණයක් ගත්තා.
"හෙට අහනවා.ඕන එකක් උනාදෙන්."


                          *            *            *            *            *

හවස සයිකලය ගත් මම පැතුම්ගේ ගෙදරට ගියා.මම දැකපු ගමන් දුවගෙන ආව පැතුමා,

"ඇහුවද? ඇහුවද?"

"මොනවා අහන්නද"

"මම හිතුවේ උඹ අද බලන් හිටපු විදියට දැන් බැඳලා ඇති කියලා"

"පිස්සුද බන්. බලපන්කො මම පොඩ්ඩක් කෙල්ලෙක් දිහා බලන් හිටපු එක හිට් වුන තරමක්.උඹලා පැය ගනන් පාරවල් වල කෙල්ලො එනකන් ‍රැකලා ඉන්නවා කාටවත් ගානක් නෑ"

"අපි වගේද බන් උඹ.නිවනට අඩියයි වගේනෙ හිටියේ... හරි ඒක නෙමෙයි ඇයි හදිස්සියේ මේ පැත්තේ ආවේ?"

"ඇයි එන්න හොඳ නැද්ද? උඹව බලලා යන්න ආවේ"

"නෑ නෑ උඹ ආවේ අර සීන් එක ගැන මොනවාහරි අහන්න නේ?මූන රතුවෙලා තියෙන විදියෙන් කියන්න පුලුවන්"

"හරි හරි හොඳ කොල්ලා වගේ කාටවත් කියන්නෙපා.උඹයි මායි අතරේ විතරයි"

"වරෙන් ටිකක් එහාට යමු." අපි පැතුම්ලගේ වත්තේ කෙලවරේ තියෙන ගල් තලාවට ගිහින් වාඩිවුනා.එතනට ඈතින් ගලාගෙන යන ගඟ ගස් අතරින් පෙනුනා.

"මම හෙට අහන්න හදන්නේ"

"ෂා... බලපල්ලකෝ මුගේ තියෙන ගට"

"ඒත් මොනවා අහන්නද කියලා හිතාගන්න බෑනේ.උපදෙසක් දීපන්කො."

"මෙහෙමයි මචන්.ඔය අහන විදියේ නිර්මාණශීලි බව වැඩිවෙන්න වැඩිවෙන්න ප්‍රතිඵලෙත් හොඳයි. උඹ හොදට කල්පනා කරලා හොඳ රචනාවක් හදලා පාඩම් කරගනින්.ඔය මොනවා ඔලුවේ තියාගෙන ගියත් එතනදි උඹට කියවෙන්නේ වෙනම කතාවක්. "

"වෙන මුකුත් උපදෙස් නැද්ද?"

"තියෙනවා. හොඳට කාලා බීලා ශරීර කෘත්‍ය කරලා ගියාම අවදනම අඩුයි.......හිටපන් මම බොන්න මොනවාහරි ආරන් එන්නම්"  වාඩිවෙලා හිටි තැනින් නැගිටපු පැතුම් ඉවතට ගියා.

                       *            *           *           *           *           *

     පසු දිනත් උදේ සුපුරුදු විදියට ඇය හමු උනත් වෙනදා වගේ විනෝදයෙන් කතාකරන්න බැරි ආගන්තුක බවක් මට දැනුනා.ඇයනම් මගෙන් එක එක දේවල් ඇහුවත් මගේ හිතේ තිබුනෙ අදත් වැස්සානම් කොයිතරම් හොඳද කියන සිතුවිල්ල විතරයි.

       එදා පාසලේ අන්තිම කාල පරිච්ඡේදයේ ඉගැන්වූ ගිණුම්කරණය පාඩම වුන ගැලපිලි තේරුම් ගන්න මගේ හිත ගලපගන්න මට කොහොමටවත් බැරි උනා.වරින් වර ගුරුතුමාගේත් පැතුම්ගෙත් සමච්චලයට ලක්වෙමින් එදා පාසලේ ගත උනේ මගේ ජිවීතේ දීර්ඝම පැය අට.පාසල නිමවෙලා සුපුරුදු බස් රියෙන් වක්වැල්ලට ගිය අපි ඒ වෙහෙසකර නමුත් ආශ්වාදජනක පයින් යාමේ ව්‍යායාමය ඇරඹුවා.

"ගැලපිලි පාඩම තේරුනාද?"

"ඔව්. එච්චර අවුලක් නෑ" මම හිතාමතාම බොරුවක් කිව්වේ කලින් දවසේ ඇය මට දුන්න දේශනේ මතක්වෙලා.

"එහෙනම් කමක් නෑ.මේ ඒක නෙමෙයි, ඔයා දන්නවද අද මිහිරි සර්ගෙන් බැනුම් ඇහුවෙ ඇයි කියලා" ඇය හිනාවෙමින් ඇහුවා. මම නෑ කියන්න වගේ ඔළුව වැනුවා

       ඊට පස්සේ ඇය ඇගේ මිතුරියට සිද්ද උන ඇබැද්දිය කියන්න පටන් ගත්තේ හරිම විනෝදෙන්.මේ කිසි දෙයක් ගැන මගේ අවධානයක් තිබුනෙ නෑ.ඒ වෙද්දි මගේ හද ගැස්ම වේගවත් වෙන්න පටන් ගෙන තිබුනා. කවදාවත් නොදැනුන හැගීමකින් හිත පිරිලා ගියා.හොඳ හුස්මක් ගත්ත මම ඇය දිහාවට හැරුනා. ඇය තවමත් හිනාවෙමින් අර සිද්ධිය විස්තර කරනවා.ඒ හිනාවට බාධා කරන්න මට දුක හිතුනා. ඒත් කරන්න දෙයක් තිබුනෙ නෑ.

"නර්මදා මම පොඩි දෙයක් අහන්නද?"
                    
                     *                 *                *               *

අවසාන කොටස බලන්න මෙතනින් යන්න...


ඉස්සරහට එන්න තියෙන පොස්ට් කියවන්න Blog එක follow කරන්න...