Tuesday, January 29, 2013

බලාපොරොත්තුව III - අවසානය


මේ කතාවේ අවසාන කොටස.කලින් කොටස් දෙක කියවපු නැති අය මෙතනින් ගිහින් ඒ දෙක කියවලාම මේක කියවන්න..

පලවෙනි කොටස

දෙවනි කොටස


                     *               *                 *               *                *                   *

      ඊට පස්සේ ඇය ඇගේ මිතුරියට සිද්ද උන ඇබැද්දිය කියන්න පටන් ගත්තේ හරිම විනෝදෙන්.මේ කිසි දෙයක් ගැන මගේ අවධානයක් තිබුනෙ නෑ.ඒ වෙද්දි මගේ හද ගැස්ම වේගවත් වෙන්න පටන් ගෙන තිබුනා.කවදාවත් නොදැනුන හැගීමකින් හිත පිරිලා ගියා.හොඳ හුස්මක් ගත්ත මම ඇය දිහාවට හැරුනා.ඇය තවමත් හිනාවෙමින් අර සිද්ධිය විස්තර කරනවා.ඒ හිනාවට බාධා කරන්න මට දුක හිතුනා.

ඒත් කරන්න දෙයක් තිබුනෙ නෑ.

"නර්මදා මම පොඩි දෙයක් අහන්නද?"

"ම්... මොකද්ද?"

"ඔයාගේ හිතෙ හර්ෂ ගැන මුකුත් අදහසක් තියෙනවද?"

"නෑ.. නෑ.. එයාට පිස්සුනේ"

"එහෙනම් ඔයාලගේ ගමේ කාගෙවත් ගැන එහෙම අදහසක් තියෙනවද?"

"නෑ නෑ එහෙම කවුරුත් නෑ.ඇයි අනේ මේ එකපාරටම"

"එහෙනම් මගේ ගැනවත් එහෙම අදහසක් නැද්ද?"
මට නොදැනිම කියන්න ඕන දේ කටින් පිටවුනා.

    ඇය ගල් ගැහුනා වගේ එකපාටම නැවතුනා.මගේ දිහා බලන්නේ නැතුව මොහොතක් බිම බලාගෙන හිටියා.එහෙම බලාගෙන හිටපු ඇය හිස උස්සනෙම නැතුව ආයෙත් ඉවතට ඇවිදගෙන යන්න පටන්ගත්තා.
මොනවත් හිතාගන්න බැරුව අසරණ වුන මම නොදැනුවත්වම ඇගේ අතින් අල්ලා ගත්තේ ඇයව නතරකරන්න.

"යන්න එපා.... පොඩ්ඩක් ඉන්න"

    ඇය හෙමින් හිස ඔසවා මගේ දිහා බැලුවා.ඒ ඇස් දෙකේ කඳුලු පිරිලා.කම්මුල් රතුවෙලා.මොහොතකට ඉස්සෙල්ලා හිනාවේවී මට කතාකරපු මූණ වෙනස් වෙලා තියෙන හැටි දැකපු මට බය හිතුනා.

"මට හදිස්සි නෑ.ඔයා හොඳට කල්පනා කරලා බලලා කියන්න."

    කඳුලු අතරින් මද සිනහවක් පෑ ඇය ඔළුව වැනුවා.මම ඇගේ අත අතහැරියා.ඇය නැවත ඇගේ මාවත දිගේ ඇවිදගෙන ගියා.මම හිටි තැනම නැවතිලා ඇය යන අයුරු බලාගෙන හිටියා.ඇය හෙමින් හෙමින් ඈත්වෙලා ගුරු පාර කෙලවරින් නොපෙනී ගියා.මම ආයෙත් මම යන පාර දිහා බැලුවා.තව ගොඩක් දුර යන්න ඉතුරුවෙලා තිබුනා.

     එදා හවස ගතවුනු ආකරය කියලා ඔබව වෙහෙසට පත් කරන්න මගෙ අදහසක් නෑ.ඒත් ඒ ගතවුන කාලය පුරාම මගේ සමීපම යාලුවෙක් මට අහිමි උනා කියන හැඟීම හිතෙන් ඉවත් කරගන්න බැරිවුනා.ඒත් ඒ වෙනුවට නැවුම් බලාපොරොත්තුවක් හිතට එක්වෙලා තිබුනා.

                 *             *             *             *              *

     පසුදින මම වේලාසනින්ම ගිහින් සුපුරුදු විදියට පාලම ලඟට වෙලා බලාගෙන හිටියත් ඇය ආවේ නෑ.මට කලින් ඇය යන්න ඇතිබව අනුමාන කල මම පාසල වෙත ගියා.

      ඒ වෙද්දිත් සීනුව නාදවෙලා තිබුනා.පන්ති කාමරය පුරාම මගේ ඇස් දුවගෙන ගියේ ඇගේ රුව හොයාගෙන.ඒත් ඇය අවිත් හිටියේ නෑ.සමහරවිට ඇගේ නොපැමිණීමට ඊයේ සිදුවීම හේතුවක් වෙන්න ඇති.මගේ හිතට මහ වරදකාරි හැඟීමක් දැනෙන්න පටන් ගත්තා.




       තවත් දවසක් උදා වුනා.නැවත වැහි බරවූ අහස අදත් මගදී වහින බව ඉඟිකලා.හැඳ පැලඳගත් මම පිටත් වෙන්න සූදානම් වෙද්දි කුඩේ ඇහැ ගැ‍ටුනා.තාමත් කුඩය මීට පෙර දවසක මම අමතක කරලා ගිය තැනම තිබුනා.මොහොතක් කල්පනා කල මම කුඩෙත් අරගෙනම එලියට බැස්සා.

       පෙරදින වගේම අදත් ඇය පාසල් ආවේ නෑ.කිසිම පාඩමකට හිත යොමු කරන්න තරම් හිතක් මට තිබුනෙ නෑ.විවේක කාලයෙ කාත් එක්කවත් කතා කරන්න ඇති අකැමැත්ත නිසා පන්තියෙන් බැහැරට ගිය මම පිට්ටනියේ කෙලවරට වෙලා ඈත සෙල්ලම් කරන පොඩි උන් දිහා බලන් හිටියා.ඈ ගැන තොරතුරක් ඇගේ සමීපම යෙහෙලියවත් දැනගෙන හිටියේ නෑ.

"අද හවස එයාලගේ ගෙවල් තියෙන පැත්තෙවත් පොඩි රවුමක් දාලා එන්න ඕන"

එහෙම හිතන අතර තුරේ ඇගේ යෙහෙලියක් වන මිහිරි මගේ පැත්තට දුවගෙන එනවා මට පෙනුනා.

"තිසර.. තිසර.."

"ඇයි.. ඇයි.. මොකද"

කියන්න යන දේ ගලපගන්න බැරුව ඇය මොහොතක් මගේ දිහා බලන් හිටියා.

"නර්මදාට කරදරයක් වෙල තිසර" මිහිරිගෙ කම්මුල් දිගේ කඳුලු බිඳුවක් කඩා හැළුනා.

"මොකද වෙලා තියෙන්නේ"
"එයාගෙ අක්මාවේ ප්‍රශ්නයක් තිබිලා.ඒකට කරාපිටියෙන් බෙහෙත් ගන්න ඕන නිසා තමයි මෙහේ පදිoචියට ඇවිත් තියෙන්නෙත්"

"ඉතින් මොකද වෙලා තියෙන්නේ කියනවා" මගේ හිතට ලොකු බයක් දැනුනා.

"නර්මදා අද උදේ නැතිවෙලා තිසර"

       මගේ උගුරේ මොකක්දෝ හිරවෙන්නාක් වගේ මට දැනුනා.වටපිටාවෙ කිසිදෙයක් මට ඇහුනෙ නෑ.සියල්ල අඳුරු වෙලා යනවා වගේ පෙනුනා.ඒ අඳුර අතරින් මගෙ ඉදිරිපිට වැලපෙන මිහිරිව මට පෙනුනා.

      මට තවත් එතන ‍රැ‍ඳෙන්නෙ නැතුව පලායන්න කියලා මගේ හිත බල කරා.මගේ නම කියලා කීප දෙනෙක් කෑගහනවා මට ඇහුනත් මම ආපස්සට හැරුනෙ නෑ.

      ගේට්‍ටුවෙන් පිටවුන මම පාර දිගේ ඇවිදගෙන ගියා.මම එහෙම කොයිතරම් වෙලා ඇවිදගෙන ගියාද කියලා මට මතකයක් නෑ.බොහෝ වෙලාවකට පස්සේ මම වේල්ලට ගොඩ වුනා.

      වේල්ල පහුකරලා පාලම දිගේ ඇවිදගෙන යද්දි, ඇය හා මේ පාරෙම වැස්සේ ගිය හැටි, හැමදාම උදේට ගුරු පාර කෙලවරින් ඇය මතුවුන හැටි , මට සරදම කරලා ඇය හිනා වුන හැටි මේ හැම දෙයක්ම සිතුවම් පෙලක් වගේ වගේ හිතේ ඇදිලා ගියේ මගේ දෑස කඳුලින් පුරවමින්.කඳුලින් බරවූ දෑසට ඉදිරියේ තිබුන මග බොඳවෙලා පෙනුනා.බොඳවූ කඳුලු අතරින් පාලමේ කෙලවර ඇති බුදු රුව මගේ නෙත ගැ‍ටුනා.ඒ ඉස්සරහා හැමදාම උදේ තබන වතුසුදු මල් මැලවී යන්න පටන්ගෙන තිබුනා.....


දෑස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්...
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට හොරෙන්..
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැණින්..
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත්ව නොවේමයි ඒ සුවඳින්..

ඊයේ පදී අද මිය යන්නට 
පෙරුම් පුරාගෙන උපන් ලයේ..
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ..
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ..
ආයේ දවසක එක හිත් ඇත්තන් 
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ..

එදා මෙදා තුර කඳුලට විවර වූ
දෑස් පියන් පත් කවුළු වසා..
ලයේ ගලාගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රතු දෙතොල පියා..
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා..
දෑත ලයේ බැඳ අවසන් ගමනට 
සොඳුරිය මට නොකියාම ගියා..


                                                 නිමි...

මේ කතාව මට සනත් නන්දසිරිගේ "එදා මෙදා තුර" සින්දුව අහන ගමන් හිතුන එකක්.දන්නැති චරිත ටිකක් දන්න කියන පරිසරයකට එකතු කරලා පොඩි කතාවක් හැදුවා.කතාව කියවපු හැමොටම ස්තුතියි!!  

14 comments:

  1. Ane pau... :( antimata mehema deyak wei kiyala hitunema na. eth eka kathawata hodai wage.ayeth wenas vdiyata katha liyanna :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ... කතාවෙ මුල් ටික බලලා හොඳ නරක කිව්වට. ආයෙත් කාලෙකට මල් කතානම් ලියන්නෙ නෑ.. :)

      Delete
  2. Godak scenes iwara wenne ooma thama bn.Exprnce 1 n therenawa...

    ReplyDelete
    Replies
    1. එච්චර අසුබ වාදී වෙන්නත් එපා :D

      Delete
    2. uba nam kiyayi... ese nowewa kiya pathamu.matath kanakotama kaapi yaka wage unoth ehema :)

      Delete
  3. වැඩේ කාලනෙ!! මම හිතුව කෙල්ල හිනා වේගන යද්දි සේරම හරි කියල.
    අනේ මන්දා ඔයත් හරියට අර කවුද මනෝරි සිලිකා වගේ, එයාගෙ පොත් 2ක් මම කියෙව්වුවා, ඒ දෙකම දුඛාන්ත

    ReplyDelete
    Replies
    1. මේක අර සින්දුව අහලා ලියපු එකක් නෙ. වෙන සින්දුවක් අහලා සුඛාන්තයක් ලියන්න ඕන ඉස්සරහට..

      Delete
  4. Replies
    1. බොහොම ස්තුතියි මචන්!!!

      Delete
  5. මොකක්ද බන් මේ කලේ....... මෙච්චර හොදට ලියන් ඇවිත් අන්තිමට හෙන අපරාදයක් කරල......
    අන්තිමට අඩන්න වෙන්නෙ නැති අලුත් 1ක් දාපන්...(y) ;)

    ReplyDelete
  6. kamk ne bn.tikak wenasakne.aya mal katha danna epa.

    ReplyDelete
  7. කතාව ටිකක් දුක හිතෙන එකක් වුනත් අපුරුයි.....

    ReplyDelete
  8. මොන ^&*^&ක් ද යකෝ මේ කලේ,,, කියවගෙන ආවේ මේ කතාවේ සමහර තැන් මගේ ජීවිතෙත් තිබුණ නිසා,, EX ; ඉස්කෝලේ යන්නයි එන්නයි කෙල්ල එනකං ඉන්න එක ,, ,ඊළඟට , කැමතිද කියල අහපු වෙලේ කෙල්ලගේ හැසිරීම, මගේ හිතේ තිබුණු බිය , මේ හැම දෙයක්ම සමානයි... ඒත් උඹ මේක ඉවර කලේ කාලකන්ණි විදිහට,,,, කථාව පුරාම හිටිය චරිත මගේ කතාවට ආරෝපණ'ය කරගෙන මම කියෙව්වෙ, එක පාරටම අවසානය මේ වගේ උනාම එකත් මගේම කොටසක් උනා ... කඳුලුත් ආවා යකෝ//////////

    ReplyDelete