Tuesday, February 12, 2013

අකුරු ගොඩක් කතාවක් උන හැටි...... එයා මගේ ජීවිතේට ආවේ මෙන්න මෙහෙම !


මම මේ පෝස්ට් එක දාන්න මුලින්ම හිතුවෙ තරුරසී අක්කාගේ කියවීමේ උප්පත්ති කතාව දැකලා.ටික ටික කල්දදා ඉදිද්දි මේක ඉක්මනට දන්න කියලා මට මතක් කරේ මගෙ යාලුවෙක්.තව පහුගිය දවස්වල මම සම්බන්ධ වුන පොඩි වැඩක් නිසාත් මේක ගැන මගේ මතකය අලුත් උනා.

පොත් කියවන කෙනෙක් ඒකට යොමු වෙන එක එක විදි තියෙනවා. සමහර අයගේ ඒ ගැන හරි ලස්සන කතාත් තියෙනවා.ලස්සනද නැද්ද මම දන්නෑ. මේ මගේ කතාව...

මම පොත් වලට ඇබ්බැහි උනේ මට අකුරු කියවන්න පුලුවන් වෙන්නත් ඉස්සෙල්ලා.එතකොට මම හිතන්නේ මට වයස අවුරුදු 4ක් විතර ඇති.

දවසක් අපේ තාත්තා මාව එක්කගෙන ගියා අපේ පන්සලට.අපේ ගෙදර ලඟ ඉඳන් පොඩි දුරයි.වෙල් යායකින් වටවෙච්ච පොඩි කඳු ගැටයක් මුදුනේ තමයි පන්සල තිබුනෙ.පන්සල පල්ලෙහා තිබුන දහම් පාසල් ගොඩනැගිල්ල අලුතින් හුණු පිරියම් කරලා ලස්සනට සරසලා.එතන මිනිස්සු ටික දෙනෙකුත් හිටියා.මම ඇහුවා තාත්තගෙන් මොකද මෙතන වෙන්නේ කියලා.

"අද ඉඳන් මෙතන පුස්තකාලයක් පටන්ගන්නවා.ඔයාටත් එන්න පුලුවන්" තාත්තා කිව්වා.

පුස්තකාලයක් කියන්නෙ මොකද්ද කියලා ඒ කාලෙ මම දන්නේ නෑ මට මතක විදියට. 

සිරිධම්මරතන නාහිමි අනුස්මරණ පුස්තකාලය පටන් ගන්න මුල් වුනේ අපේ ගෙවල් ලඟම හිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්.දැන් වගේ ලොකූ සoදර්ශන තිබුනේ නෑ.ලොකු හාමුදුරුවො ඇවිත් පොඩි දේශනයක් තිබ්බා.සුබ මොහොතින් පුස්තකාලේ විවෘත කරා. ලව්ඩ්ස්පීකර්, පෝස්ටර්, කට්අවුට් මුකුත් නෑ.සරල උත්සවයක්.

තත්තාගේ අතේ එල්ලිලා ගිහින් එතන හිටිය අක්කට නම කියලා රුපියල් 10ක් දුන්නම පොඩි කාඩ් එකක් හම්බුනා.ඒකට කියන්නේ සාමජික කාඩ් එකලු.මගේ අoකේ 4 ලු. මමනම් දන් නෑ.අනිත් අය කියපු කතා තමයි ඉතින්.

මේ පුස්තකාලේ පුස්තකාලාධිපතිනිය විදියට පත් උනේ අපේ අසල්වැසි ජෙනීෆා අක්කා.ඇය අපේ ගමේ ශ්‍රි.ල.නි.ප ක්‍රියාකාරියෙක්ගේ දුව. උපතින්ම ක‍තෝලික උනත් පන්සල එක්ක හරි හරියට සම්බන්ධවෙලා වැඩ කරා.

පුස්තකාලේ පටන් ගනිද්දි හිටියේ සාමාජිකයන් 20ක් විතර මට මතක විදියට. ඒ නිසා වැඩි දෙනෙක් එතනට ආවේ ගියේ නෑ.ඒ කොහොම උනත් හැමදාම හවස 2 ඉදන් 5 වෙනකම් පුස්තකාලේ විවෘතයි.මේ නිසා ජෙනීෆා අක්කගේ තනියට මාවත් එක්ක යන්න කියලා අපෙ අම්මා කිව්වා.

එදා ඉදන් ඉතින් හැමදාම මම පුස්තකාලේ රාජකාරි. එතනට ගිහින් පොඩි ලමයින්ගේ පොත් තියෙන රාක්කෙන් රූප ටිකක් වැඩියෙන් තියෙන පොතක් අරගෙන පෙරල පෙරලා ඉන්නවා.සමහර වෙලාවට අක්කාගෙන් කතාව අහගන්නවා.

එතන වැඩිය රූප තියෙන පොත් තිබුනේ නෑ. රූප නෑති පොත්වල තිබුන කුරුමිණි අඬු වගේ අකුරු කියවන්න මට තේරුනේ නෑ.ඒ පි‍ටු අතරේ තියෙන කතා තේරුම් ගන්න බැරි නිසා දුක හිතුන දවසක මම ගෙදර ගිහින් අම්මට  කිව්වා.

"අනේ අම්මේ මටත් අකුරු කියලා දෙන්නකෝ " කියලා.

අම්මට ලොකු හිනාවක් ගියා.අම්මා ප්‍රාථමික පන්ති වලට උගන්වන ගුරුතුමියක්.ළමා මනස ගැන ළමාකාලය ගැන ඇයට හොඳ අවබෝධයක් තිබුනා.මට සෙල්ලම් කරන්න තිබුන ළමාකාලේ පොතකට හිර කරන්න අම්මට වුවමනා උනේ නෑ.

වැඩේ හරි ගියේ නැති නිසා මම වෙනදා වගේ පුස්තකාලෙට ගිහින් රූප බලලා ගෙදර එනවා. හවස 3,4 කියන්නේ සමාන්‍යයෙන් මම නිදාගන්න වෙලාව.දැන් වගේ තමයි ලෙක්චර් නෙමෙයි මල ගෙදරක් මගුල් ගෙදරක් උනත් නිදිමත උනාම මම නිදි.ඒක නිසා ගොඩක් දවස් වලට පත්තර මේසේ උඩ නින්ද ගියපු මාව ගෙදර වඩාගෙන ආවේ ජෙනීෆා අක්කා. අදටත් හම්බවුනාම ඇය හිනාවෙලා මේ ගැන මතක් කරනවා.

යන්තම් 2 වසරට විතර යද්දි මම අකුරු කියවන්න පටන්ගත්තා. මුලින්ම පොත්වල දන්න වචන හොය හොය කියෙව්ව මම පොත ඇතුලේ තිබුන කතාව හොයාගත්තා.එච්චර කල් පි‍ටු පෙරලලා බලපු පොත් ඇතුලේ තිබුන කතා තේරුම් යද්දි පුදුම සතුටක් ඇති උනේ.එදා ඉදන් පටන්ගත්ත කියවිල්ල ඉතින් තාම කියවනවා..

මම ඉස් ඉස්සෙල්ලම තනියෙන් කියෙව්වේ 'අලි කලබලය'.මට මුලින්ම අම්මා ගෙනත් දුන්නේ 'උදාරගේ පෙරලිය'.ඒ කාලේ මගේ කැමතිම පොත 'ජින්සෙන් කුමාරි'.
මේ රූපය හොයාගත්තේ පොත් කියවන අය කියන ෆේස්බුක් කණ්ඩායමෙන්..

මම ඩේවිඩ් කරුණාරත්නගේ රොබින් හුඩ් පොත කියෙව්වෙ 3 වසරෙදි. එකේ තිබුන ගොඩක් වචන ඒ කාලේ මට තේරුනේ නෑ.ඒක කියවලා 'චුම්බනය' කියන වචනේ තෙරුම අහගන්න අම්මගේ පස්සෙන් ගිය හැටි තාම මතකයි.

4 වසරෙදි කියවපු හොදම පොත 'මාස්ටර්මන් රෙඩී' අසoක්ෂිප්ත පරිවර්තනය.ශිෂ්‍යත්වේ පාස් උනාම සුනඛ ශාපය, ඇලන් ක්වාටමෙන්, සැබෑ මිනිසෙකුගේ කතාව, සැඟවුන ලොවේ සවාරියක් වගේ පොත් ගොඩක් තෑගි හම්බුනා.ඒ තමයි මම හිතන්නේ මගේ කියවීමේ ස්වර්ණමය යුගය.

මම 5 වසරෙදි විතර පුස්තකාලෙ පරිපාලනය පන්සලෙන් ගමේ යෞවන සමාජයක බාර උනා.එයාලා ඔක්කොම වෙනස් කරන්න පටන් ගත්තා. සමාජික අoක 4 හිටපු මම 24 වුනා. පුස්තකාලෙ රාජකාරි කරන එක  එයාලා තමන්ගේ පෙම්වතා හරි පෙම්වතිය මුනගැහෙන්න අවස්ථාවක් කරගත්තා.අපිටත් ගෙදරින් පුස්තකාලෙට යන එකට තහoචි වැ‍ටුනා.

අවුරුද්දකින් පස්සෙ යෞවන සමාජෙ පුස්තකාලෙන් අයින් වෙලා ගියා. නිකන් නෙමෙයි.පොත් වලින් බාගයකුත් අරගෙන.

මට පුස්තකාලේ නැති උන එක ඒ තරම් පාඩුවක් උනේ නෑ.මොකද අපේ ඉස්කෝලේ හොඳ පුස්තකාලයක් තිබුනා.ඇරත් අම්ම හැම පඩියටම මට අලුත් පොතක් ගේන්නත් පුරුදුවෙලා හිටියා.

දැන් කස්ටිය බලනවා ඇති මොකද මේ මම එක පාරටම සිරා පොස්ට් එකක් දැම්මේ කියලා.මේකයි හේතුව.මට මතක ඇති කාලේ ඉදන් කියවන්න ලොකු පිපාසයක් මට තිබුනා.ඒ වගේම මගේ පිපාසේ සoසි‍ඳෙන්න ඇති තරම් පොත් මගේ වටේට තිබුනා.මට විතරක් නෙමෙයි අපි හුඟ දෙනෙකුට එහෙමයි.

ඒත් අපි වගේ කියවන්න ලොකු ආසාවකටත් වඩා පිස්සුවකින් ඉන්න ඒත් කියවන්න පොතක් හොයාගන්න නැති අහින්සක ළමයි කොයි තරම් ලoකාවේ කොයි තරම් ඉන්නවා ඇතිද? කියවන්න පුරුදුවුන කෙනෙකුට පොතක් නැති උනාම තියෙන අමාරුව දන්නවනේ..

ඒ වගේ ළමයින්ගෙ පිපාසේ සoසිඳවන්න IMCD (International Movement for Community Development) සoවිධානය 'Needy Readers' කියලා ව්‍යාපෘතියක් කරගෙන යනවා. මේකෙන් කෙරෙන්නේ පොත් කියවන අය ලඟ තියෙන කියවල ඉවරකරපු පොත්,අළුත් පොත් එකතු කරලා දුෂ්කර පළාත් වල පුස්තකාල වලට බෙදාහරින එක. ඔවුන්ගේ 'Needy Readers 2012' ව්‍යාපෘතියෙන් පොත් 12000ක් විතර බෙදාහැරලා තියෙනවා.

කලින් කිව්වා වගේ පොත් ඇතුලෙන් ලෝකය දකින්න ආසාවෙන් ඉන්න ඒත් ඒකට අවස්ථාවක් නැති ළමයෙකුගේ ඒ හීනේ සැබෑ කරන්න දායක වෙන්න ඔබත් කැමතිනම් අපට දන්වන්න.ඔබ ලඟ තියෙන භාවිතා කරපු හෝ අළුත්, සිoහල, දමිළ, ඉoග්‍රීසි ඕනම භාෂාවකින් ලියවුන පොත් කැමති ප්‍රමානයක් මේ ව්‍යාපෘතියට ලබාදෙන්න.

ඔබට ආසන්නම නගරයට ඇවිත් IMCD  නියෝජිතයන් පරිත්‍යාගය බාරගන්නවා.වැඩිදුර තොරතුරු දැනගන්න කැමතිනම් අපිට කතාකරන්න..
                              උපුල් -  0716663282

                              මාධව-   0774982677

                              ධනුක-   0771800317

                              ගිහාන්-  0712242674

Tuesday, January 29, 2013

බලාපොරොත්තුව III - අවසානය


මේ කතාවේ අවසාන කොටස.කලින් කොටස් දෙක කියවපු නැති අය මෙතනින් ගිහින් ඒ දෙක කියවලාම මේක කියවන්න..

පලවෙනි කොටස

දෙවනි කොටස


                     *               *                 *               *                *                   *

      ඊට පස්සේ ඇය ඇගේ මිතුරියට සිද්ද උන ඇබැද්දිය කියන්න පටන් ගත්තේ හරිම විනෝදෙන්.මේ කිසි දෙයක් ගැන මගේ අවධානයක් තිබුනෙ නෑ.ඒ වෙද්දි මගේ හද ගැස්ම වේගවත් වෙන්න පටන් ගෙන තිබුනා.කවදාවත් නොදැනුන හැගීමකින් හිත පිරිලා ගියා.හොඳ හුස්මක් ගත්ත මම ඇය දිහාවට හැරුනා.ඇය තවමත් හිනාවෙමින් අර සිද්ධිය විස්තර කරනවා.ඒ හිනාවට බාධා කරන්න මට දුක හිතුනා.

ඒත් කරන්න දෙයක් තිබුනෙ නෑ.

"නර්මදා මම පොඩි දෙයක් අහන්නද?"

"ම්... මොකද්ද?"

"ඔයාගේ හිතෙ හර්ෂ ගැන මුකුත් අදහසක් තියෙනවද?"

"නෑ.. නෑ.. එයාට පිස්සුනේ"

"එහෙනම් ඔයාලගේ ගමේ කාගෙවත් ගැන එහෙම අදහසක් තියෙනවද?"

"නෑ නෑ එහෙම කවුරුත් නෑ.ඇයි අනේ මේ එකපාරටම"

"එහෙනම් මගේ ගැනවත් එහෙම අදහසක් නැද්ද?"
මට නොදැනිම කියන්න ඕන දේ කටින් පිටවුනා.

    ඇය ගල් ගැහුනා වගේ එකපාටම නැවතුනා.මගේ දිහා බලන්නේ නැතුව මොහොතක් බිම බලාගෙන හිටියා.එහෙම බලාගෙන හිටපු ඇය හිස උස්සනෙම නැතුව ආයෙත් ඉවතට ඇවිදගෙන යන්න පටන්ගත්තා.
මොනවත් හිතාගන්න බැරුව අසරණ වුන මම නොදැනුවත්වම ඇගේ අතින් අල්ලා ගත්තේ ඇයව නතරකරන්න.

"යන්න එපා.... පොඩ්ඩක් ඉන්න"

    ඇය හෙමින් හිස ඔසවා මගේ දිහා බැලුවා.ඒ ඇස් දෙකේ කඳුලු පිරිලා.කම්මුල් රතුවෙලා.මොහොතකට ඉස්සෙල්ලා හිනාවේවී මට කතාකරපු මූණ වෙනස් වෙලා තියෙන හැටි දැකපු මට බය හිතුනා.

"මට හදිස්සි නෑ.ඔයා හොඳට කල්පනා කරලා බලලා කියන්න."

    කඳුලු අතරින් මද සිනහවක් පෑ ඇය ඔළුව වැනුවා.මම ඇගේ අත අතහැරියා.ඇය නැවත ඇගේ මාවත දිගේ ඇවිදගෙන ගියා.මම හිටි තැනම නැවතිලා ඇය යන අයුරු බලාගෙන හිටියා.ඇය හෙමින් හෙමින් ඈත්වෙලා ගුරු පාර කෙලවරින් නොපෙනී ගියා.මම ආයෙත් මම යන පාර දිහා බැලුවා.තව ගොඩක් දුර යන්න ඉතුරුවෙලා තිබුනා.

     එදා හවස ගතවුනු ආකරය කියලා ඔබව වෙහෙසට පත් කරන්න මගෙ අදහසක් නෑ.ඒත් ඒ ගතවුන කාලය පුරාම මගේ සමීපම යාලුවෙක් මට අහිමි උනා කියන හැඟීම හිතෙන් ඉවත් කරගන්න බැරිවුනා.ඒත් ඒ වෙනුවට නැවුම් බලාපොරොත්තුවක් හිතට එක්වෙලා තිබුනා.

                 *             *             *             *              *

     පසුදින මම වේලාසනින්ම ගිහින් සුපුරුදු විදියට පාලම ලඟට වෙලා බලාගෙන හිටියත් ඇය ආවේ නෑ.මට කලින් ඇය යන්න ඇතිබව අනුමාන කල මම පාසල වෙත ගියා.

      ඒ වෙද්දිත් සීනුව නාදවෙලා තිබුනා.පන්ති කාමරය පුරාම මගේ ඇස් දුවගෙන ගියේ ඇගේ රුව හොයාගෙන.ඒත් ඇය අවිත් හිටියේ නෑ.සමහරවිට ඇගේ නොපැමිණීමට ඊයේ සිදුවීම හේතුවක් වෙන්න ඇති.මගේ හිතට මහ වරදකාරි හැඟීමක් දැනෙන්න පටන් ගත්තා.




       තවත් දවසක් උදා වුනා.නැවත වැහි බරවූ අහස අදත් මගදී වහින බව ඉඟිකලා.හැඳ පැලඳගත් මම පිටත් වෙන්න සූදානම් වෙද්දි කුඩේ ඇහැ ගැ‍ටුනා.තාමත් කුඩය මීට පෙර දවසක මම අමතක කරලා ගිය තැනම තිබුනා.මොහොතක් කල්පනා කල මම කුඩෙත් අරගෙනම එලියට බැස්සා.

       පෙරදින වගේම අදත් ඇය පාසල් ආවේ නෑ.කිසිම පාඩමකට හිත යොමු කරන්න තරම් හිතක් මට තිබුනෙ නෑ.විවේක කාලයෙ කාත් එක්කවත් කතා කරන්න ඇති අකැමැත්ත නිසා පන්තියෙන් බැහැරට ගිය මම පිට්ටනියේ කෙලවරට වෙලා ඈත සෙල්ලම් කරන පොඩි උන් දිහා බලන් හිටියා.ඈ ගැන තොරතුරක් ඇගේ සමීපම යෙහෙලියවත් දැනගෙන හිටියේ නෑ.

"අද හවස එයාලගේ ගෙවල් තියෙන පැත්තෙවත් පොඩි රවුමක් දාලා එන්න ඕන"

එහෙම හිතන අතර තුරේ ඇගේ යෙහෙලියක් වන මිහිරි මගේ පැත්තට දුවගෙන එනවා මට පෙනුනා.

"තිසර.. තිසර.."

"ඇයි.. ඇයි.. මොකද"

කියන්න යන දේ ගලපගන්න බැරුව ඇය මොහොතක් මගේ දිහා බලන් හිටියා.

"නර්මදාට කරදරයක් වෙල තිසර" මිහිරිගෙ කම්මුල් දිගේ කඳුලු බිඳුවක් කඩා හැළුනා.

"මොකද වෙලා තියෙන්නේ"
"එයාගෙ අක්මාවේ ප්‍රශ්නයක් තිබිලා.ඒකට කරාපිටියෙන් බෙහෙත් ගන්න ඕන නිසා තමයි මෙහේ පදිoචියට ඇවිත් තියෙන්නෙත්"

"ඉතින් මොකද වෙලා තියෙන්නේ කියනවා" මගේ හිතට ලොකු බයක් දැනුනා.

"නර්මදා අද උදේ නැතිවෙලා තිසර"

       මගේ උගුරේ මොකක්දෝ හිරවෙන්නාක් වගේ මට දැනුනා.වටපිටාවෙ කිසිදෙයක් මට ඇහුනෙ නෑ.සියල්ල අඳුරු වෙලා යනවා වගේ පෙනුනා.ඒ අඳුර අතරින් මගෙ ඉදිරිපිට වැලපෙන මිහිරිව මට පෙනුනා.

      මට තවත් එතන ‍රැ‍ඳෙන්නෙ නැතුව පලායන්න කියලා මගේ හිත බල කරා.මගේ නම කියලා කීප දෙනෙක් කෑගහනවා මට ඇහුනත් මම ආපස්සට හැරුනෙ නෑ.

      ගේට්‍ටුවෙන් පිටවුන මම පාර දිගේ ඇවිදගෙන ගියා.මම එහෙම කොයිතරම් වෙලා ඇවිදගෙන ගියාද කියලා මට මතකයක් නෑ.බොහෝ වෙලාවකට පස්සේ මම වේල්ලට ගොඩ වුනා.

      වේල්ල පහුකරලා පාලම දිගේ ඇවිදගෙන යද්දි, ඇය හා මේ පාරෙම වැස්සේ ගිය හැටි, හැමදාම උදේට ගුරු පාර කෙලවරින් ඇය මතුවුන හැටි , මට සරදම කරලා ඇය හිනා වුන හැටි මේ හැම දෙයක්ම සිතුවම් පෙලක් වගේ වගේ හිතේ ඇදිලා ගියේ මගේ දෑස කඳුලින් පුරවමින්.කඳුලින් බරවූ දෑසට ඉදිරියේ තිබුන මග බොඳවෙලා පෙනුනා.බොඳවූ කඳුලු අතරින් පාලමේ කෙලවර ඇති බුදු රුව මගේ නෙත ගැ‍ටුනා.ඒ ඉස්සරහා හැමදාම උදේ තබන වතුසුදු මල් මැලවී යන්න පටන්ගෙන තිබුනා.....


දෑස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්...
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට හොරෙන්..
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැණින්..
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත්ව නොවේමයි ඒ සුවඳින්..

ඊයේ පදී අද මිය යන්නට 
පෙරුම් පුරාගෙන උපන් ලයේ..
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ..
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ..
ආයේ දවසක එක හිත් ඇත්තන් 
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ..

එදා මෙදා තුර කඳුලට විවර වූ
දෑස් පියන් පත් කවුළු වසා..
ලයේ ගලාගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රතු දෙතොල පියා..
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා..
දෑත ලයේ බැඳ අවසන් ගමනට 
සොඳුරිය මට නොකියාම ගියා..


                                                 නිමි...

මේ කතාව මට සනත් නන්දසිරිගේ "එදා මෙදා තුර" සින්දුව අහන ගමන් හිතුන එකක්.දන්නැති චරිත ටිකක් දන්න කියන පරිසරයකට එකතු කරලා පොඩි කතාවක් හැදුවා.කතාව කියවපු හැමොටම ස්තුතියි!!  

3D චිත්‍රපට නැරඹීම මාරන්තික අනතුරු සහිතයි!!!!



ඔන්න මාසේකට විතර පස්සෙ බ්ලොග් එක පැත්තේ ආවා. පහුගිය මාසේ අපේ exam මාසේ.කොහේ බ්ලොග් ලියන්නද? semester එක පුරාම දීපු නෝට් ෆොටොකොපි කරන්න ඕන. කලින් exam එකට පාඩම් කරපු තැන අස් පස් කරන්න ඕන.පාඩම් කරනකොට බොන්න ප්ලෙන්ටි හදන්න ඕන.වැඩ ගොඩයි.

 අද කියන්න හදන්නේ වෙනදා වගේ කතාවක් නෙමෙයි.මීට ටික කාලෙකට ඉස්සෙල්ලා මම තුමාට සහ මගෙ යාලුවො ටිකට වෙච්චි දෙයක්..

  කැම්පස් ගියාට පස්සේ ගොඩ කාලෙකින් අපේ ගමේ කට්ටිය සෙට් උනේ නැති නිසා යාලුවො දෙන්නෙක් එක්ක මම 3D film  එකක් බලන්න යන්න සෙට් උනා.මේකට සහභාගි උනේ ‍ටුන්නා යි, බ්ලොකයි. ඒ දවස්වල exam එකක් තිබුන නිසා චතුරයා මේකෙදි හලලා ගියේ.

10 දර්ශන වාරේ බලන්න plan කරගෙන හිටිය නිසා මම උදේ පාන්දරින්ම පිටත් උනා. මම වැඩේට ආවේ නුවර ඉදන්.දුම්රිය දෙපාර්තුමේන්තුවට පින් සිද්ද වෙන්න මම කො‍ටුවට එද්දි 10යි.Hall එක ගාවට යද්දි 10.30යි.අරුන් දෙන්නා කියපු කතා අහලා මට බඩත්ගිනියි.


දැන් ඉතින් හිටපියකො 1 වෙනකම්.මොනවා කරන්නත් ඉස්සෙල්ලා බඩගිනි නිසා දවල්ට කන්න තිරණය කරා.කන්න ගියපු තැන නමනම් මම සැහෙන්න try කරත් කියවගන්න බැරි උනා.මම බැලුවා අපේ කැන්ටිමේ වගේ හැලප, ගල් බනිස් එහෙම තියෙද කියලා.නෑ එකක් වත් නෑ.අමුතු අමුතු පිටි ගුලි තියෙනවා, දැකල නෑ ජීවිතේට.

කොහොමහරි අන්තිමට හාල් කිලෝ 5ක විතර සල්ලි දීලා පොඩි රොටියක් වගේ 1ක් කෑවා.රොටියේ අඩoගු ද්‍රව්ය වලින් මම දන්න දේකට තිබුනේ පිටි විතරයි.

එකත් කාලා රවුමක් ගහලා එද්දි film 1 පටන් ගන්න වෙලාව හරි.මම ටිකට් ගන්න තැනට ගිහින් ඇහුවා 

"අය්යේ මොනවද 3D ඒවා තියෙන්නේ"

"මල්ලි Spider man තියෙනවා.Brave තියෙනවා"

"ඔක්කොම ඉන්ග්ලිශ් නේ අයියේ, 'දරුවනේ' 3D නැද්ද?"

අරූ මගේ දිහා බැලුවා පිටසක්වල ජීවියෙක් දිහා බලන්න වගේ.එතකොටම මගේ ඔලුව මුදුනට හෙනයක් ගැහුවා වගෙ දැනුනා.

"මෙන්න මෙහෙ දීපන් සල්ලි ටික" මගෙන් සල්ලි උදුරගත්ත ‍ටුන්නා ටිකට් ගත්තා.

හෝල් එකට ඇතුල් වෙද්දි එතන හිටපු ටික්කා කන්නාඩියක් දෙනවා අතට Sun galss  එකක් වගේ එකක්.ඒත් ඉතින් අව්ව කොහෙද හෝල් එක ඇතුලේ.. 

අඩ්ඩේ... මට දැන් නේ තේරුනේ..
මේක එලිමහන් රoග පීඨයක් වෙන්න ඇති.අපේ වල වගේ. spider man වේදිකා නාට්‍ය යනවා ඇත්තේ.. ඔව්නේ... වේදිකා නාට්‍ය කොහොමත් 3D නේ!!!!

මට මතක් උනේ වලේ බලපු සිoහබාහු.ඒක ෆුල් 3Dඒක බලද්දි අතරින් පතර පොඩි වැහි පොදක් ගියා.එතකොට 4D.අනේ ඇත්තට මෙව්වා ඔක්කොම අපේ තාක්ෂනය තමයි.. සුද්දෝ කොපි කරාට.එත් ඇතුලට ගිහින් බලද්දි තිබුනේ ක්වීන්ස් එකේ වගේ තිරයක්ම තමයි.

Amazing spider man , spider man 1එකම ටිකක් වෙනස් කරලා හදපු එකක්. spider man 1 බලපු හැමොම ආසවෙන් බලන් ඉන්න අර ඇග කිලිපොලා යන දර්ශනය spider man ඔළුව පහලට එන විදියට මේරි ජේන්ව kiss කරන දර්ශනය මේකේ නෑ. මේකෙදි ඒ සීන් එකට පොර  සුපිරි වීර චරිතෙන් අයින් වෙලා පොලවේ පය ගහලා මුහුණ දෙනවා.


කතාව සුපුරුදු පරිදි ගලා යනවා.
එක දර්ශනේකදි spider man පිටිපස්සෙන් සතුරා ලුහුබදිනවා.මේකේ සතුරාට ඉන්නේ අලියෙකුටත් වඩා ලොකු තල ගොයි තඩියෙක්.සුපිරි වීරයා උනාට මොකෝ අරූ පන කඩාගෙන දුවනවා.එකත් හොදයි එක අතකට,නැවතුනොත් හෙන කෑමක් තියෙන්නේ.අරකා එලවගෙන එනවා.මේකා දැල් විද විද එල්ලී එල්ලී පලා යනවා...

ඔහොම ඔහොම ඔහොම යද්දි, යද්දි මෙන්න එක පාරටම spider man, screen එකෙන් දොට්ට පැනපි.

අන්න අරූ එලියට පැන්නෝ.." බ්ලොකා කෑගහුවා. මගෙත් ඇග හීතල වෙලා ගියා.

screen එකෙන් එලියට පැන්න spider man ආයිත්  ඒ පැත්තට දැලක් විදලා screen 1 ඇතුලට ගියා.එතොකොට තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ.දැල පොඩ්ඩක් මිස් වෙලා වැ‍ටුනානම් එතන පල්ලෙහා සිමෙන්තිය.කාට කියන්නද!!!!

එතකොටම මට ඇහුනා අපිට පිටිපස්සෙ වාඩිවෙලා හිටපු කෙනෙක් කියනවා "පට්ට 3D නේ!!"

දැන් තමයි මට වැඩේ තේරුනේ.මම පොර සේ හැරුනා බ්ලොකා දිහාවට.

"මැට්ටො ඒකට තමයි 3D කියන්නෙ"

එකා හා කියන්න වගේ ඔලුව වැනුවා.ඔලුව වනපු විදියෙන් මට තේරුනා එකට මුකුත් තෙරුනේ නැ කියලා.

ආයිත් ‍ෆිල්ම් එක.තාම spider man පස්සෙන් අර තලගොයා එලවගෙන යනවා.ඔහොම එද්දි එක තැනකදි වේගෙන් ආපු සතුරාගේ වලිගේ වදිනවා ගොඩනැගිල්ලක මුදුනේ.ගොඩනැගිල්ල කුඩුවෙලා යනවා.කෑලී අධික වේගෙන් හතර වටේ විසි වෙනවා.කෑලී කීපයක් screen එකෙන් එලියටත් විසී වුනා.එක පාරටම ලොකූ කුට්ටියක් ආවා අපේ පැත්තට..

බුදු අම්මෝ!!   කියලා සද්දයක් ආවා..

මම වට පිට බැලුවා.‍ටුන්නා නෑ... 

බැලින්නම් මේකා ඉස්සරහා පු‍ටුව යටට රිoගලා.මම බෙල්ලෙන් අල්ලලා එකාව ආයිත් වාඩි කරා.

ඌ ලොකු සැනසුම් සුසුමක් හෙලුවා මැරෙන්න ගිහින් ගොඩ ආවා වගේ...

"හොද වෙලාවට පහත් උනේ බන්.නැත්නම් අර ලොකු කුට්ටිය මූනේ.පහත් උන නිසා යන්තම් පොඩි එකක් වැදිලා බේරුනා."

එහෙම කියලා එකා නලලේ තඩිස්සි උන තැනක් පෙන්නුවා..

හ්ම්ම්.. පොඩ්ඩක් ඉදිමිලා තමයි..

එතකොටම ඉස්සරහා seat එකේ හිටිය කෙල්ල පිටිපස්සට හැරුනා.

"තමුසේ ආයිත් මගෙ seat එක අස්සේ රිoගන්න ආවොත් ඔහොම නෙමෙයි දෙන්නේ මම"

ඊට පස්සේ වලියක් යන හැම වෙලාවෙම අපි ඇස් 2 තද කරලා පියා ගත්තා.ලයිට් කනුවක් ඇවිත් වැදුනත් කමක් නෑ.කෙල්ලෙක්ගෙන් ගුටි කනවට වඩා ඒක සැපයි..

Film 1 ඉවර වෙලා එලියට ආව අපි දන ගසා, දකුනු අත ලය මත තබා පොරොන්දුවක් දුන්නා.ආයිත්නම් මලාට 3D film බලන්නේ නෑ...

ප.ලි- ඊයේ දිනයේ සුබ මොහොතින් සිඳු අක්කා අරඹපු අලුත් ජීවිතේට මගේ උණුසුම් සුබ පැතුම්!!!!!! :)