Friday, November 2, 2012

බලාපොරොත්තුව - II

මේ බලාපොරොත්තුව කතාවේ දෙවනි කොටස..පලවෙනි කොටස බලපු නැති අය මෙතනින් ගිහින් ඒ කොටස බලලම මේක කියවන්න....

නර්මදා, තිසර කියන්නේ කවුද, එයාලා හමුවුන විදිය ඒ කොටසේ තියෙනවා...එතැන් සිට,


     එදා දවස පුරාම පන්තියේ පු‍ටුව උඩ තිබුනේ මගේ ඇඟ විතරයි.හිත ආයෙ ආයෙත් ගිo ගඟේ වේල්ලට දුවගෙන ගිහින් ඇයත් එක්ක වැස්සේ පියමන් කරා.

      ඇය පන්තියේ වාඩිවෙලා හිටියේ මට වඩා පේලි කීපයක් ඉස්සරහින්.පාඩමට හිත යොමු කරගෙන කළු ලෑල්ල දිහා බලන් ඉන්න කොයිතරම් උත්සාහ කරත් ඇගේ ලගින් නවතින ඇස් කීකරු කරගන්න මට බැරි වුනා. ගිණුම්කරණය පාඩම අතරතුරේ එයා පිටිපස්සට හැරුනු වෙලාවක අහම්බෙන් අපේ ඇස් එකට ගැ‍ටුනා. ඇය ඉක්මනින් ඉවත බලාගත්ත නිසා ඒ බැල්මේ තිබුනේ මොනවගේ හැඟීමක්ද කියලාමට තේරුම් ගන්න වෙලාවක් තිබුනෙ නැහැ.

    ඒ හැරත් තමන් ආදරය කරන ඇස් දෙක තමන් වෙතට යොමු වීමේ ආනන්දයෙන් ඉන්න තුරුණු ආදරවන්තයෙකුට එහෙම විමසන්න වුවමනාවකුත් නෑ.

"ආහ් ලොක්කා" පැතුම්ගේ කටහඬින් මම හීන ලෝකෙන් අවදි වුනා.

"ඇයි මොකද"

"නෑ මචo මම මේ බැලුවේ නර්මදා තාම ඉතුරු වෙලා ඉන්නවද කියලා"

"ඒ.. ඒ මොකද?"

"ඇයි මෝඩයො උඹ උදේ ඉදන් කන්න වගේ ඒකි දිහා බලන් ඉන්නවනේ.මම හිතුවේ දැන් කාලා දිරවලත් ඇති කියලා."

"එහෙම එකක් නෑ බන්"

"අනේ බන් මට කොලේ වහන්න හදන්නෙපා තිසර.අවුලක් නෑ කරගනින්. ඒ කෙල්ල අහින්සකයි.මම දන්නවා අනිත් උන් වගේ ආතල් එකට නෙමෙයි උඹ ඒකි පස්සේ යන්නේ"
මම මුකුත් නොකියා කර බා ගත්තා.

"පරක්කු වෙන්නෙපා මචෝ.වචනයක් දාලා තියපන්. අප්පමාදෝ අමත පදo. දන්නවනේ හර්ෂයත් කුරුමානම් අල්ලනවා"

"බලමු"

"මොනවා බලන්නද.උඹ ට්‍රයි කියලා එයා කොහොමත් දන්නවනේ.කටින් කියන්න විතරයි තියෙන්නේ"

"එයා කොහොමද ඒක දන්නෙ" පැතුමගෙ කට ගැන දන්න මම සැකෙන් ඇහුවා.

"මුලු පන්තියම ඕක දන්නවා. එයා නොදැන ඉන්න බබෙක්ද"
පැතුම් හිනාවෙලා ඉවතට ගියත් මගේ හිත මහ අවුල් ජාලාවක් උනා....

"එයා මේ ගැන දන්නවානම් මගෙ හිතුවිලි තව දුරටත් හoඟාගෙන ඉඳලා පලක් නෑ."
ඒත් මේ ගැන අහන්න ගිහින් අපේ අතරේ ඇතිවෙලා තිබුන හිතවත්කම පළුදු කරගන්න මගේ හිත දුන්නේ නෑ. හිතවත්කම ‍රැකගන්න ගිහින් වෙන හෙනහුරෙක් පාත් උනොත් හිතවත්කමත්, ආදරයත් දෙකම නැති වෙන එකනම් ලෝක ධර්මතාවයක්.

    පාසල අවසන් වෙලා බස්රියෙන් බැහගත්ත අපි වේල්ල දිගේ පියමනින්න පටන්ගත්තා.උදෑසන සිදුවීමෙන් පස්සේ මට ඇය එක්ක සමාන්තරව ගමන් කරන්න තරම් හිත හයියවෙලා තිබුනා.ටිකක් වෙලා තිබුන නිහැඬියාව ඇයම බිඳලා දැම්මේ මට කතාකරගන්න බැරුව කියලා තේරුම් අරගෙන වගේ.

"අද කියලා දීපු 'අකවුන්ට්ස්' තේරුනාද?"

"ම්ම්... නෑනේ.ඒ ටිකනම් හොඳටම අවුල්.මුකුත්ම තේරුනේ නෑ."

"කොහේ තේරෙන්නද.. වෙන ලෝකවල නේ ඉන්නේ"

මම කරබා ගත්තා..

"හෙට ඒකේ අන්තිම ටික කියලා දේවි.එතකොටවත් අල්ලගන්න බලන්න"

"බලමු"

"බලමු කියන්නේ. ඇයි උවමනාවක් නැද්ද?"

"තියෙනවා" කතාව පටන් ගත්ත වෙලේ ඉදන් ඇය දාර්ශනික කතා කියන්න පටන්ගෙන.

"අරමුණු තියෙනවා.ඒත් කැපකිරීම කරන්න කම්මැලි නේද?"
මේ මාත් එක්ක උදේ කුඩේ යටින් ගිය දඟකාර යුවතියමද කියලා මට හිතුනා.ඒ කතාවට මගෙන් වැඩි දායකත්වයක් නොලැබුනු තැන ඇය නිහඬ වුනා.ඇය වෙන්ව යන ගුරු පාර අසලට ආව අපි දෙන්නාම නැවතුනා.

"මම එහෙනම් යන්නම්"
මට මුකුත් කියාගන්න බැරිඋන නිසා හා කියන්න වගේ ඔලුව වැනුවා.

මම එතැන ඉදන් ගෙදර ආවේ අමුතු ලෝකෙක හිතෙන් සැරිසරමින්.ඒ ලෝකේ ඇයත් මමත් අත් පටලවාගෙන ඇවිද්දා.එකිනෙකා දිහා ඇස්පිය ගහන්නැතුව බලාගෙන හිටියා.එදා හවස් වරුවෙම ඒ ලෝකෙට සම වැදිල හිටි මම අවසානේ තිරණයක් ගත්තා.
"හෙට අහනවා.ඕන එකක් උනාදෙන්."


                          *            *            *            *            *

හවස සයිකලය ගත් මම පැතුම්ගේ ගෙදරට ගියා.මම දැකපු ගමන් දුවගෙන ආව පැතුමා,

"ඇහුවද? ඇහුවද?"

"මොනවා අහන්නද"

"මම හිතුවේ උඹ අද බලන් හිටපු විදියට දැන් බැඳලා ඇති කියලා"

"පිස්සුද බන්. බලපන්කො මම පොඩ්ඩක් කෙල්ලෙක් දිහා බලන් හිටපු එක හිට් වුන තරමක්.උඹලා පැය ගනන් පාරවල් වල කෙල්ලො එනකන් ‍රැකලා ඉන්නවා කාටවත් ගානක් නෑ"

"අපි වගේද බන් උඹ.නිවනට අඩියයි වගේනෙ හිටියේ... හරි ඒක නෙමෙයි ඇයි හදිස්සියේ මේ පැත්තේ ආවේ?"

"ඇයි එන්න හොඳ නැද්ද? උඹව බලලා යන්න ආවේ"

"නෑ නෑ උඹ ආවේ අර සීන් එක ගැන මොනවාහරි අහන්න නේ?මූන රතුවෙලා තියෙන විදියෙන් කියන්න පුලුවන්"

"හරි හරි හොඳ කොල්ලා වගේ කාටවත් කියන්නෙපා.උඹයි මායි අතරේ විතරයි"

"වරෙන් ටිකක් එහාට යමු." අපි පැතුම්ලගේ වත්තේ කෙලවරේ තියෙන ගල් තලාවට ගිහින් වාඩිවුනා.එතනට ඈතින් ගලාගෙන යන ගඟ ගස් අතරින් පෙනුනා.

"මම හෙට අහන්න හදන්නේ"

"ෂා... බලපල්ලකෝ මුගේ තියෙන ගට"

"ඒත් මොනවා අහන්නද කියලා හිතාගන්න බෑනේ.උපදෙසක් දීපන්කො."

"මෙහෙමයි මචන්.ඔය අහන විදියේ නිර්මාණශීලි බව වැඩිවෙන්න වැඩිවෙන්න ප්‍රතිඵලෙත් හොඳයි. උඹ හොදට කල්පනා කරලා හොඳ රචනාවක් හදලා පාඩම් කරගනින්.ඔය මොනවා ඔලුවේ තියාගෙන ගියත් එතනදි උඹට කියවෙන්නේ වෙනම කතාවක්. "

"වෙන මුකුත් උපදෙස් නැද්ද?"

"තියෙනවා. හොඳට කාලා බීලා ශරීර කෘත්‍ය කරලා ගියාම අවදනම අඩුයි.......හිටපන් මම බොන්න මොනවාහරි ආරන් එන්නම්"  වාඩිවෙලා හිටි තැනින් නැගිටපු පැතුම් ඉවතට ගියා.

                       *            *           *           *           *           *

     පසු දිනත් උදේ සුපුරුදු විදියට ඇය හමු උනත් වෙනදා වගේ විනෝදයෙන් කතාකරන්න බැරි ආගන්තුක බවක් මට දැනුනා.ඇයනම් මගෙන් එක එක දේවල් ඇහුවත් මගේ හිතේ තිබුනෙ අදත් වැස්සානම් කොයිතරම් හොඳද කියන සිතුවිල්ල විතරයි.

       එදා පාසලේ අන්තිම කාල පරිච්ඡේදයේ ඉගැන්වූ ගිණුම්කරණය පාඩම වුන ගැලපිලි තේරුම් ගන්න මගේ හිත ගලපගන්න මට කොහොමටවත් බැරි උනා.වරින් වර ගුරුතුමාගේත් පැතුම්ගෙත් සමච්චලයට ලක්වෙමින් එදා පාසලේ ගත උනේ මගේ ජිවීතේ දීර්ඝම පැය අට.පාසල නිමවෙලා සුපුරුදු බස් රියෙන් වක්වැල්ලට ගිය අපි ඒ වෙහෙසකර නමුත් ආශ්වාදජනක පයින් යාමේ ව්‍යායාමය ඇරඹුවා.

"ගැලපිලි පාඩම තේරුනාද?"

"ඔව්. එච්චර අවුලක් නෑ" මම හිතාමතාම බොරුවක් කිව්වේ කලින් දවසේ ඇය මට දුන්න දේශනේ මතක්වෙලා.

"එහෙනම් කමක් නෑ.මේ ඒක නෙමෙයි, ඔයා දන්නවද අද මිහිරි සර්ගෙන් බැනුම් ඇහුවෙ ඇයි කියලා" ඇය හිනාවෙමින් ඇහුවා. මම නෑ කියන්න වගේ ඔළුව වැනුවා

       ඊට පස්සේ ඇය ඇගේ මිතුරියට සිද්ද උන ඇබැද්දිය කියන්න පටන් ගත්තේ හරිම විනෝදෙන්.මේ කිසි දෙයක් ගැන මගේ අවධානයක් තිබුනෙ නෑ.ඒ වෙද්දි මගේ හද ගැස්ම වේගවත් වෙන්න පටන් ගෙන තිබුනා. කවදාවත් නොදැනුන හැගීමකින් හිත පිරිලා ගියා.හොඳ හුස්මක් ගත්ත මම ඇය දිහාවට හැරුනා. ඇය තවමත් හිනාවෙමින් අර සිද්ධිය විස්තර කරනවා.ඒ හිනාවට බාධා කරන්න මට දුක හිතුනා. ඒත් කරන්න දෙයක් තිබුනෙ නෑ.

"නර්මදා මම පොඩි දෙයක් අහන්නද?"
                    
                     *                 *                *               *

අවසාන කොටස බලන්න මෙතනින් යන්න...


ඉස්සරහට එන්න තියෙන පොස්ට් කියවන්න Blog එක follow කරන්න...

Sunday, October 28, 2012

බලාපොරොත්තුව - 1


                  උදා හිරු පෙරදිග අහසින් මතුවෙලා හෝරාවක් විතර ඇති.ඒත් වැහි වලාකුළු ගමන් මග හරස් කරලා. පාලමේ අත්වැල උඩට නැගුන දෙමලිච්චන් රoචුවක් කීචි බීචි ගාන්න පටන් ගත්තේ කාලෙකට පස්සේ උදවෙන්න යන වැහිබර දවස ගැන මැසිවිලි නගන්න වගේ.පාලමට යටින් ගලාගෙන යන ගිo ගඟේ පුළුල් ජල තලය වරින් වර වැටෙන හීන වැහි බින්දු වලින් චoචල උනා.ගo දිය සිප ගනිමින් ඇදෙන හීතල හුලඟ ගo ඉවුරෙ ඇති තුරු හිස් නලවමින් ඒ ඇතුලෙම සැඟවුනා. පාලමේ අනිත් කෙලවර ඇති වේල්ල උඩ වාහන කීපයක් ගමන් කරනවා ඈතින් මට පෙනුනා.

                       මේ වගේ වැහිබර උදෑසනක් ගිo ගඟ පත්තුවට එතරම් ආගන්තුක නැති උනත් පහුගිය දවස් ටිකෙම පායලා එක පාරටම වැහිබර උන එක ගැනනම් මටත් පුදුමයි.අම්මා පෙ‍රැත්ත කරද්දිම කුඩය ගෙදර තියල ආව එක ගැන තිබුන හිතේ කනස්සල්ලත් එක්ක මම පාලමට ගොඩවුනා.පාලම ඇරඹෙන තැන තියෙන බුදු පිලිමේ ඉදිරි පිට කවුරු හරි දිනපතා තියන වතුසුදු මල් වට්ටියේ මල් උඩ තියෙන පැන් බිoදු ඉර එලියට දිලිසෙනවා.

              පාලම දිගේ ඇවිද යන අතරතුරේ මගේ ඇස් වේල්ල දිගේ දිව ගියේ සුදු වතින් සැරසිලා යන රුවක් හොයාගෙන.එත් වැලි පැටවූ ලොරි කීපයක් හැරෙන්න වේල්ල පාලුවට ගිහින් තිබුනා.

            වේල්ලෙන් එහා පැත්තේ තියෙන්නේ බලගොඩ.මෙහා පැත්තේ ඇත්තේ ගෝනපුරය.වේල්ලත් ගෝනපුරයත් අතර මැදින් ගිo ගඟ හෙමින් ගලා බහිනවා.ගඟේ ඉවුරු දෙක යාකරමින් මීටර 150ක් විතර දිග මේ පාලම නැගී හිටියා.මම පාසලට යන බස් රියට ගොඩවෙන්නනම් මේ පාලමත් , වේල්ලත් දෙකම පහුකරගෙන යා යුතුව තිබුනා.


                පාලමේ අනෙක් අන්තයට ආ මම පාලමේ අත්වැල උඩ වාඩිවෙලා වේල්ලෙන් එහා පැත්තේ ඇති ගුරු පාර දිහා බලගෙන හිටියා.දිනපතාම මෙතන වාඩිවෙලා ඇය එනකම් බලන් ඉන්න එක දැන් මගේ පුරුද්දක් වෙලා.ඇය මහා විද්‍යාලයට ආවේ දැන් මාස කීපයකට ඉස්සෙල්ලා.මුල් දවස්වලනම් ඇගේ හිත දිනාගන්න තර‍ඟෙට බොහෝ දෙනෙක් හිටියත් දැන් ඉන්නේ දෙතුන් දෙනෙක් විතරයි.මේ දෙතුන් දෙනා අතරිනුත් ඇගේ ගමන් සගයෙක් වීමේ වාසනාව උදාවුනේ මට විතරයි..


අතරින් පතර වැ‍ටුන වැහිපොද දැන් හීන් වැස්සක් වේගෙන එනවා.

"එයා අද එන්නේ නැද්ද දන්නෑ"


"සමහර විට අද වැහැගෙන එන නිසා ටිකක් පරක්කු ඇත්තේ"


          වැහි වලාකුළු අතරින් යන්තමින් දිස්වෙන ඉර මගේ හිතට පොඩි බලාපොරත්තුවක් එක් කරා.ආයෙත් මගේ ඇස් ගුරු පාර දිහාවට යොමු වුනා. එතකොටම ගුරුපාරේ කෙලවරින් රෝස පාට කුඩයක් ඉහළා ගත්ත රුවක් මතුවුනා.වහාම අත්වැලෙන් බිමට පැන්න මම තියන්න පුලුවන් කෙටිම අඩිම තියමින් හෙමින් වේල්ල දිගේඇවිද යන්න පටන් ගත්තා. බොහෝ දිනවල කරන මේ බොලඳ වැඩේ ගැන මටම හිනාගියත් ඇයව අහම්බෙන් හමුවුන බව අඟවන එක ඊට වඩා වැදගත්.


        මට වඩා තරමක් ඉදිරියෙන් 
වේල්ල ගොඩවුන ඇය ඇගේ පාඩුවේ ඇවිදගෙන ගියා.මමත් ඒ පස්සෙන් පියමැන්නා.වැහි බිoදු මගේ බැනියම තෙත් කරමින් පිට දිගේ ගලාගෙන යනව මට දැනුනා.

    එහෙම යන අතරතුරේ අහම්බෙන් වගේ ඇය ආපස්සට හැරුන මොහොතක ඇගේ ඇස් මා වෙත යොමු වුනා...මාව දැක්ක ගමන් ඇය නැවතුනා.


    මද හිනාවක් ඇගේ මුහුනේ ඇ‍ඳෙන අතරතුරේ ඇය මට අත වැනුවා.මම පිටි පස්ස හැරිලා බැලුවේ අත වැනුවේ වෙන කාටවත්ද කියලා.වෙන කවුරුත් නෑ.මගේ හද ගැස්ම ටිකක් වේගවත් උනා. ඉක්මනින් සිහිය එලවාගත් මම ටිකක් වේගෙන් ඇය දෙසට දුවගෙන ගියා.ඇයට පියවර කීපයක මෙහායින් නැවතුන මම මොනවා කියන්නද කියලා හිතාගන්න බැරිවුන නිසා,


"ගුඩ් මෝනින්" කිව්වා.


"ගුඩ් මෝනින්, ගුඩ් මෝනින්... වහිනවා නේද? ඔයා වැස්සට ආසද?"


මේ මොනවද මෙයා මේ කියන්නේ??????


"මේ.... ඔව් ටිකක් ආසයි... මෙහෙම උදේ.."


"අනේ මේ!!! තෙමෙන්නැතුව මෙන්න මෙහේ කුඩේ යටට එන්න.තෙමෙන්න ආස උනාට කමක් නෑ"

එයා අත වැනුවේ ඇයි කියලා මට දැනුයි කල්පනාවට ආවේ.

" ආහ්!! තෑන්ක්ස්" මම කුඩේ යටට යන ගමන් කිව්වා.


"කුඩේ ගේන්න අමතක වුනාද? නැත්නම් තෙමෙන්න ආස නිසා තියල ආවද?"

මගේ මන්ද බුද්ධික හැසිරීමට හිනා වෙමින් ඇය මගෙන් ඇහුවා..

"අමතක උනා"

අම්මා ඒතරම් කියද්දි පවා කුඩය ගෙදර තියලා එන්න තරම් මම කල පින මොකද්ද කියලා මට හිතුනා.

"හොඳ වෙලාවට ඔයා හම්බුනේ.අත දාල යන්න වාහනයක් වත් පේන මානෙක නෑ"

මගේ ආත්ම විශ්වාසේ ටික ටික වැඩෙන්න පටන් ගත්තා..

"අපි කලින් හිටපු පැත්තටනම් මෙහෙම වහින්නේ කලාතුරකින්" ඇගේ ගම සූරියවැව කියලා මම අහලා තිබුනා.


"එහේ හොදයිද මෙහෙට වඩා"


"මෙහේ දේශගුණේ හොදයි.වහිනවා, හීතලයි.හැමතැනම කොල පාටට ගස් කොලන්.අපේ පැත්තේ ගොඩක් පායනවා"

එහෙම කියපු ඈ හීන් සුසුමක් හෙළුවා.

"ඒත් ඉතින් මගේ යාලුවො ඔක්කොම ඉන්නේ එහේ.එකට හිටපු අය දාලා එද්දි හිතට දුකයිනේ"


"අහ්! එහෙනම් එහේ දාල එන්න දුක විශේෂ කෙනෙක් ඉන්න ඇති"

මම ඉලක්කය බලලා වෙඩිල්ල පත්තු කරා.

"නෑ නෑ එහෙම කවුරුත් හිටියේනම් නෑ"


එහෙම කියද්දි ඇගේ මූණේ දඟකාර හිනාවක් ඇදිලා යනවා මම ඇස් අගින් දැක්කා.

හුලඟේ ආව වැහි බින්දු කීපයක් ඇගේ කම්මුලේ ‍රැඳිලා දිලිසෙමින් තිබුනා.ගොතලා තිබුන කොණ්ඩ කරල් අතරින් නිදහස් වුණු කෙහෙ‍රැල් කීපයක් කම්මුල මතින් වැටිලා සුලඟට නැලවුනා.මාස ගාණක් එක පන්තියේ ඉදලත් මම මේ තරම් සමීපව අයව දැක්ක පලවෙනි දවස අද.

"ඉතින් එහෙනම් ඇයි ගම දාල මෙහේ ආවේ"


මගේ ඒ ප්‍රශ්නෙත් එක්කම ඇගේ මූණ එක පාරට අඳුරු වෙලා ලොකු කනගා‍ටුවකින් පිරුනා.එතෙක් වෙලා මූණේ ‍රැඳිලා තිබුන දඟකාර හිනාව හුළඟේ ගසාගෙන ගියා.


"නිකම්"


මම කුතුහලය යටපත් කරගෙන නිහඬ වුනා.


වැස්ස සෙමෙන් රළු වෙමින් තිබුනා.අපි ගමන් කරන බස් රිය නවත්වන වේල්ලේ කෙලවර වැස්ස අතරින් අපහැදිලි වෙලා ගියා..


"වැස්ස වැඩි වෙනවා නේද?"  ඇයම කතාව වෙන අතකට හැරෙව්වා.


"අද හොඳ වෙලාවට මම ටිකක් පරක්කු උනා.නැත්නම් ඔයාව මග ඇරෙනවා"


"ඔව්.. මම එත් බැලුවා අද එන්නේ නෑ වත්ද කියලා" 

හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා කියලා මට තේරුම් යද්දි ටිකක් ප්‍රමාදයි..

"ඒ කිව්වේ මම එනකම් බලන් හිටියද"


"ආහ්... න්.. නෑ නෑ.... මට හිතුනා අද එන එකක් නෑ කියලා.ඔයාලගේ පාර ඉස්සර හරියට මඩ වෙනවනේ ඉස්සර.දැන් එහෙම නැද්ද?"


"ආ.. එහෙමද?? දැන් නම් පාර මඩ වෙන්නෙ නෑ.ඉස්සර මඩ උනා කියලා අහලත් නෑ මමනම්"

නැවත ඇගේ මුහුනේ ඇදුණු ඒ දඟකාර හිනාව මාව ආකර්ශනය කරගත්තා........
                                
                  
            දෙවනි කොටස බලන්න මෙතනින් යන්න..

ඊලග කොටස දවස් දෙක තුනකින් දානවා. පොස්ට් 1ක් දාන්න ටිකක් පරක්කු වුනේ කැම්පස් පටන් ගත්ත නිසා.එහෙනම් මතක ඇතුව ඊලඟ කොටසත් බලන්න....

Sunday, October 7, 2012

අරගලය-Strike කාලයේ දිනපොත 3


ඔන්න strike කාලයේ දිනපොතේ තුන්වෙනි කොටස අරන් මම ආවෙමි ය. :)

කලින් කොටස් බලපු නැති අය පලවෙනි කොටස මෙතනින් බලන්න. 

දෙවනි කොටස මෙතනින් බලන්න.

මගේ කලින් පොස්ට් එකේ මම පලවෙනි වතාවට කවියක් දැම්මෙමි.  (මෙතනින් ගිහින් එක බලන්න) .
 ඒක දැමීමෙන් පස්සේ ආව කෙටි පනිවිඩ කීපයකම සදහන් උනේ එවාට කවි කියා කියන්න බැරි බවය.
කමක් නැත. ඒවා කතාද නොවේය.

කෙසේ වෙතත් ලෝකයේ ඕනම කෙනෙකුට කවියෙක් විය හැකි බව මම ඉගෙන ගත්තේ පත්තරයෙනි. ඇෆ්ගනිස්ථානයට බෝම්බ ගසයි, බෝල්ට් රන් පදක්කමක් දිනයි, බුද්ධo සරණo ගච්ඡාමි වැනි
පද 3ක් පවා අගට "ආතා අපේ කීවා හොඳ කතාවක්" යෙදීමෙන් කවියක් කල හැකි බව මට කියාදුන්නේ දිවයින පත්තරයේ මුණුපුරාය.

පහු ගිය දවස් වල මම හිටියේ campus එකේය.ඒ සරසවි ආචාර්ය ‍රැලියට ගිය ගමන්ය.
‍රැලිය දවසේ උදේ පාන්දර 5ට විතර මොකෙද්දෝ එකෙක් මගේ කකුල හොලවනවා මට දැනුණි.
වම් ඇහැ පමණක් විවෘත කල මට අපේ පින්තුවා දර්ශනය විය. ඕකා මාව හොයාගෙන එන්නේ මොකක්හරි මගඩියකටය. පෝස්ටරයක් අලවන්න, උද්ඝෝෂනයක් කරන්න වාගේ වැඩකටය.

නැවත විවෘත කල ඇහැ වහගත් මම,

"ඇයි බo" කියා ඇසුවෙමි.

"අර ලෙක්චර්ස්ලගේ ‍රැලියෙ stage එක ගහන්න යන්න වරෙන්"
උදේ පාන්දර 5ට මනුස්සයෙකුට මීට වඩා ප්‍රීතිමත් ආරoචියක් ලැබෙන්නට හැටියක් නැත. මූ වගේ කල්‍යාණ මිත්‍රයන් ලැබීමට මම ගිය ආත්මේ මිනිහෙක්වත් මරාදමා ඇත.

"යමo" කියූ මම ඇස් දෙක පියාගෙනම ඇඳේ වාඩි වුනෙමි.

"ආහ් තව එකක්. බාත් රූම් එකේ වතුර නෑ.මූන හොදන් නැතුව තමයි යන්න වෙන්නේ"
අන්න ඒකනම් එල ආරoචියකි.මගේ පොඩි කාලයේ හීනයක් සැබෑ වී තිබේ.

මගේ පොඩි කාලයේ හීන වූයේ උදේ පාන්දර මුන හොදන්නවත් ගමේ වතුර නැතිවීම , රෑ පැමිනි සුලි සුලගකින් අපේ ඉස්කෝලය කුඩුවීම, අපේ ගණන් මිස්ට ඉස්කෝලේ එන්න බැරිවෙන්න ලෙඩක් හැදිම,
අපිට 10 වසරේ ඉoග්‍රිසී කරපු මිස්ට heart attack 1ක් හැදිම  වගේ අහින්සක හීනය.

ඇඳේ ඉදන්ම අත දික්කර ඩෙනිමයි,ටී ශර්ට් එකයි ඇඳ ගත් මම ඇස් ඇරියෙමි.

"කට ගඳද දන් නෑ බන්"
කියූ මම අතට ආශ්වාස වාතය ටිකක් පිඹ ඉව අල්ලා බලන්නට උත්සාහ කරනවා මට යන්තම් මතකය..නැවත මට සිහිය එන විට පින්තුවා මට පවන් ගහමින් සිටියේය..
stage එක ගහන තැන කට අරින සෑම විටකම වටේ සිටින පුද්ගලයන් සමඟ අඩි 3ක වත් පරතරයක් තබාගත යුතු බවට මට තරයේ අවවාද කිරීමෙන් පසුව ඌ මාව පිටත් කර හැරියේය.

එදා වැඩ සාර්ථකව නිමා වූ අතර ඊට පහුවදා අපේ batch1 හන්තානේ hike එක ගියෙමු.හන්තාන කොහොමත් පට්ට ලස්සනය.එදා "යන්න බෑ අයියෝ, අම්මෝ පොඩ්ඩක් නවතිමු, ආපහු යමූ " කියා අඬපු අපේ කෙල්ලො ටික නැත්නම් තවත් ලස්සනය. :P
batch එක ඇතුලෙන් hitch වුන කොල්ලෝ hitch 1 කරේ තියාගෙන හතිහලාගෙන,සෙම පෙරාගෙන කඳු නගින ආකාරය දැකීමෙන් ඔ‍ටුවන් වන අපිට මාර funය.

hike 1 පුරාවටම අපේ බැජියක් වන සෙන්ට්‍රොගේ සින්දු අහලා ඇති වුන කනේ වේදනාව නිසා කකුලේ වේදනාව යටපත් විය.සෙන්ට්‍රො ට සින්දු කියන්න හොඳ හැකියාවක් තිබෙන බව කවුද කියාතිබේ.
ඒ කවදාද කියා ඇයට ඒ තරම් මතකයක් නැතත් බොහෝ දෙනාගේ අදහස ඒ අප්‍රේල් පලවෙනිදා බවයි.

ඊට පස්සේ තිබුනේ පාගමනයි. campus එකේ ඉදන් මාවනැල්ල වෙනකම් පයින් ආව අපිට අන්තිම හරිය වෙද්දී හොඳ ගනන්ය.ඒ ගමන පුරාවට අපිට බීම ලබාදුන් අයියලා, අක්කලා, නැන්දලා, මාමාලා ටත්, මාවනැල්ලේ ටවුන් එකෙදි අපිට ටොපි බෑග් 1ක් දුන් කහපාට ඇඳුමක් ඇඳ ,රතු පාට ඔරලෝසුවක් බැඳ ගෙන සිටි හිනාවෙද්දි නල දතක් පේන සුදු ලස්සන අක්කාටත් බොහොම ස්තුතියි ...

ආචාර්ය පා ගමනට නම් මරු මරු කට්ටිය එකතු වී තිබුනි. ලoකාවට නිදහස් අධ්‍යාපනය විකිනීම හඳුන්වා දුන් රනිල් මාමා, *සි සේනානායකලා මේවාට අවේ යටට ඇඳගෙනදැයි මට සිතේ.
ජෙනරාල් තුමා 'නිදහස් අධ්‍යාපනය ‍රැක ගනිමු' හා 'රාජ්‍ය අධ්‍යාපනය ‍රැක ගනිමු' යන සටන් පාඨ දෙකේ වෙනස මොකද්ද කියාවත් දන්නවාදැයි මම දන්නේ නැත.

කෙසේ වෙතත් වැස්සකටවත් campus නොගිය අපේ මාමා හා campus ගිහින් ගොඩ ගිය බලු බණ්ඩා අපිට පස්ස හරවන වෙලාවේ පෞද්ගලික අරමුණු හිතේ තියාගෙන දෙන උදව් පවා ගන්නට වී ඇත.

මේ අස්සේ අපේ ටීම් එක T20 ෆයිනල් ඇවිල්ලාය.මේ ෆයිනල් එක දිනුවොත් කවදාහරි මගේ පොඩි එකාට මම බැලුවා කියලා ආඩම්බරෙන් කියන්න තව world cup 1ක් ඇත. (මේ මන:කල්පිත පොඩි එකාට තාම අම්මා කෙනෙක් නැත.)
කතා ඇතිය.
පහුගිය දවස් වල සරසවි පාගමන් යාම නිසා ගමේ දේශද්‍රෝහියෙක් වී සිටින නිසා final එකට ගේ ඉස්සරහා සිoහ කොඩිය දමා හෝ නැවත මගේ දේශප්‍රේමී චරිතය ගොඩ නගාගත යුතුය.
එහෙනම් මම යමි. ටා ටා ය......
ඊලඟ පෝස්ට් එකේ වෙනසක් බලාපොරොත්තු වන්න...

-මේක කියවලා හොදයි කියලා හිතෙනවනම් මගේ බ්ලොග්1 follow කරලා සප් 1ක් දෙන්න.පස්සෙන් එන කස්ටිය කියලා තියෙන තැන click කරන්න-

Wednesday, September 26, 2012

ඉක්මනින් එමු නේද බලන්නට හඳපාන........




පින්න පිපිලා රෝස අතු අග 
පලිගු කැට මෙන් දිලෙන්නේ..
පියාසලමින් ර oචු ගැසිලා 
විහග රහසක් කියන්නේ..
දෑස නොරිදෙද කවුළු අතරින්
හිරුත් ඔච්චම් කරන්නේ..
සිහින අතරින් නිල් ගොයම් මැද 
නුඹේ රුව මට පේන්නේ..


ඈත නිම්නයේ හිරුගේ සැඩ ‍රැස්

නුඹ දවාලන වෙලාවේ..
වතේ දා බිඳු  නිවී යන්නට 
වහිනවද වැහි වලාවේ..
ඈත මළහිරු සැගවි ගිය ඒ
නුඹ දමා ආ සැදෑවේ..
මගේ හිතට පෑයූ අමාවක 
බිඳින සිසිකැන් නුඹවේ..

නුඹේ සුව  නැති නිසා 

පාලු හුදකලාවේ..
හිටියා මම බොහො කලක්
නුවර තක්සලාවේ..
මගේ හීනබො   වෙලා 
මහවැලියෙ ගියාවේ..
‍රැඳුනාවේ නුඹේ වතේ 
ඔහු ගෙනා සිනා ඒ..

පාළුවේ වේදනා නැතිව 

ලෙන්ගතු මූණ..
මට තරම් නුඹට නෑ 
ඇතිනෙ පෙම්බරයාන..
නැතුවානේ මගේ හිතේ
තව ඉතින් ඒ හීන..
ඉක්මනින් එමු නේද
බලන්නට හපාන........

නිමිත්ත- මේකට පසුබිම් වෙන්නේ පේරාදෙණියේ කaෂිකර්ම පීඨයේ වෙන සිදුවීමක්.එහේ කaෂිතාක්ෂණය හදාරන අය මුල් මාස 6ක් ඉන්නේ මහාඉලුප්පල්ලම උප ඒකකයේ.ඒ අය එනකම් ඒ පිඨයේ ඉන්න අනිත් සහෝදර පාඨමාලාවල ඒ කියන්නේ සත්ව පාලනය,ආහාර විද්‍යාව හා තාක්ෂණය හදාරන පිරිමි ලමයි වගේම සමහර ජේෂ්ඨ තුමන්ලා මග බලාගෙන ඉන්නවා..

සැලකිය යුතුයි-නිර්මාණයක් විතරයි.මට අදාල නැත....

Friday, September 14, 2012

ආශ්චර්ය - strike කාලේ ජීවන චක්‍රය 2

හායි... දෙයර්ර්ර්ර්!!!!!

මේ පාර කියන්න යන්නේ ස්ට්‍රියික් කාලේ ජීවන චක්‍රයේ දෙවනි කොටසයි....
පලවෙනි කොටස බලපු නැති අය එකත් මෙතනින් බලන්න.....

ඉස්සෙල්ලාම කීමට ඇත්තේ මගේ බ්ලොග් එකේ ඇති දේවල් අපේ අම්මාට කියන එකා මේකත් කියවනවානම්, "පරිස්සම් වෙලා හිටපන්......" කියාය.
එක්කො කවුරුහරි එකෙක් කේලම් කියන්නේය.නැත්නම් අපේ අම්මාද බ්ලොගිය බලනවාය.
කෙසේ වෙතත් තාක්ෂණය අම්මලා, තාත්තලා අතට පත්වීම මේ දශකයේ අපට මුහුන දීමට සිදුවන බරපතල අර්බුද වලින් 1කි.

කෙසේ වෙතත් දැන් අම්මා කාමරයට ගුල කියා කීම නවතා ඇති අතර එම ස්ථානය ගුහාව ලෙස හදුන්වයි.ගුහා තුල ජීවත් වන පොෂ් සතෙකු තාම මට මතක් වී නැත.

දැන් දින කීපයකට පෙර මගේ රූමො අතරින් දෙන්නෙකු වන ජාඩියා හා පැන්ඩා අපේ ගෙදර ආවෝය.මේ දෙදෙනා ගැන දන්නැති අය බොහෝ දෙනෙක් මේ ලිපිය කියවන නිසා මේ දෙන්නා ගැන පොඩ්ඩක් කියන්නම්.පැන්ඩා මම වගේ සaජුකෝණාස්‍රාකාරයි.ජාඩියා ගෝලාකාරයි.ඒ ටික දැනගත්තම ඇති..
උන් දෙන්නා එන බව මට කිවේ එන්න කලින් දවසේය.දවසේ කිව්වාට එන්න පැය 10ක් 15ක් ඉස්සෙල්ලාය. එච්චර වෙලාසනින් කීම ගැන මම උන් දෙන්නාට ගුණ වර්ණනා කරද්දී උන් කිව්වේ අනෙක් හැමදේම වගේ මෙම තීරනයද ක්ෂනික එකක් බවයි.

කෙසේ වෙතත් මම එනවා කියපු වෙලාවට ගාලු ගොස් Bus satand එකේ උඩ තට්‍ටුවට වී මග බලා සිටියෙමි.
එසේ බලා සිටි මට එක වරම නගරයේ කොනක ඇති ඩිජිටල් දැන්වීම් පුවරුවේ අනර්කෙලී මතුවෙනවා පෙනුනි.ඡන්දයක් ලග එනවා විය යුතුය.. නෑ බැලින්නම් රත්තරන් බඩු ad එකක්ය.
ඔය රත්තරන් බඩුව ඡන්දේ කාලේ අපේ ගෙවල් පැත්තේද ආවාය.වාහනයක පි‍ටුපස කොටසේ නැගී බඩ ගොඩක් පේන සාරියක් ඇද ගෙන අපේ ගෙවල් ලගින්ද ගියාය.
එසේ යද්දී අත වනා ආචාර කල බව අම්ම කීවද මටනම් එච්චර උඩ බලන්න වෙලාවක් තිබුනේ නැත.

කෙසේ වෙතත් 11ට එනවා කියපු දෙන්න යන්තම් 5ට විතර ගාල්ලට ලගාවිය.
එදා දවල් මුන් දෙදෙනාට උයපු කෑම ටිකම රෑටත් කන්න දුන්න මම පසුදින දෙදෙනාම කො‍ටුව හා අවට මුහුදු තීරයේ ඇවිදින්න එක්කන් ගියෙමි.
එසේ යන අතරතුර සමකාසන්න රටක, මුහුදුබඩ සoචාරක නගරයක (සිoහලෙන්ම කියනවානම් සුද්දියො අව්ව තපින නගරයක) වාසය කිරිමෙන් කොල්ලෙකුට සෑහෙන ප්‍රතිලාභ අත්වන බව සියැසින් දැකගත්තෝය.
මේ නිසා මුන් දෙදෙනා සමග වෙරලේ වේගයෙන් යාම පට්ට අමාරු විය.

පැය කීපයකට පසු අපි කො‍ටුවෙන් පහල මුහුදට ත්‍රාසජනක පිමි පනින කොල්ලෝ සෙට් 1 ඉන්න ස්ථානයට පැමිනියෙමු.එහිදී ජාඩියා ගමේ වැවට ගලක් උඩ සිට ජබුන් ගසන ඌටද එම පිමි පැනිය හැකි බව තරයේ කියා සිටි අතර පනින්නද කීපවරක් උත්සාහ කලේය.
ඒකගේ දේහ පරිමාව හා ජලය සමග ඇතිවන ඝට්ටනය සලකා බැලූ විට 2004 සුමත්‍රාව අපිට එවපු සුනාමියට return එක දීමට හොදම අවස්ථාව මෙය බව මට වැටහුනත් ඌ ලග මගේ කතා පොතක්
ඇති බව මතක් වී මම ඌව වැලැක්වූවෙමි.

කෙසේ වෙතත් පැන්ඩාට ගමනක් යන්න ගෙදරින් කතා කල නිසා මේ දෙන්නාට අපේ ගෙදර සිටිය හැකි උනේ දවස් 2ක් පමනි.යද්දි දෙන්නාම මාව බදාගෙන හැඩුවේ මේ යන විදියට අපි ආයිත් හමුනොවෙන්නද ඉඩ ඇති නිසාය.

මගේ ඊට පසු දවස් කීපයම ගත උනේ ගමේ නoගිලා මල්ලිලාගේ result අහන්නය.
AL ප්‍රතිපල වල 4වන edition 1 ලගකදී නිකුත් විය.මේකෙනුත් campus select උනේ නැති අපේ අල්ලපු ගෙදර එකා නැවත නඩු දමන බවට මට තර්ජනය කලේය. වැඩ 3 ම අසමත්  ඌ තව කී පාරක් result වෙනස් උනත් විශ්ව විද්‍යාල වරම් නොලබන බව ඌට තේරෙන්නේ නැත.
එකා වැඩ කල හැටි දන්නා මම නිකන්හරි ඌ pass වී අවානම් ඊට විරුද්දව නඩු දැමීමට සුදානමින් සිටියෙමි.

ස්ට්‍රයික් ගැටලුවද විසදෙන පාටක් නැත.මා මෙහි නම සදහන් කිරීමටවත් කැමති නැති ඉoග්‍රීසි අකුරු දෙකේ සුනඛයා ආචාර්යවරුන්ටත් උගේ වටා ඇති සුනඛයන්ට බුරන අයුරින් බිරීම කනගා‍ටුදායකය.


මේ අතර පහුගිය සතියේ අපේ රටට කපිලවස්තු ධාතු වැඩැම්මවීය.මේ ඇසූ මට සියලු ප්‍රශ්න අමතක වී සාධු කියවින.ඒ කල පිනට ජාතියේ අප්පුච්චා බුදු විය යුතු බව අපේ අල්ලපු ගෙදර ආත්තම්මා දත් ඇන්ද දාගෙන සිටින විටක කීවේය.එහේ මලයානම් කිව්වේ එහෙමහරි ඕක චුත වෙනවානම් කියාය..

මේ හැමදේම ගැන සිතා හිත අප්සට් වූ වෙලාවලට මම ITN එකේ NEWS බලමි.එකේ NEWS කියන ඇන්ටිලා අන්කල්ලා කියන විදියටනම් අපේ සoවර්ධනයේ හැටියට ඇමරිකාව පරදා ලෝක බලවතා වීමට ඇත්තේ තව මාස 2, 3කි.
එසේම අප්පුච්චා හා අර අකුරු දෙකේ බල්ලා නෙමේ සොරි!  සුනඛයා රහත් වීමටද ඇත්තේ තව ටික දිනකි.
තවද විශ්ව විද්‍යාල  ආචාර්යවරු හා ලෝකයේ භයානකම ත්‍රස්තවාදී කල්ලිය වන සරසවි සිසුන් පොලව පලාගෙන අපායට යාමටද ඇත්තේ තව දින කීපයකි.

 අර සූරියප්පෙරුම පඩිතුමා කියන විදියටම..

"ආශ්චර්ය... හසන්ත මහත්තයෝ.... ආශ්චර්ය..."

හොක් හොක් හොක්.....



-මේක කියවලා හොදයි කියලා හිතෙනවනම් මගේ බ්ලොග්1 follow කරලා සප් 1ක් දෙන්න.පස්සෙන් එන කස්ටිය කියලා තියෙන තැන click කරන්න-

Thursday, September 6, 2012

හමුදා පුහුනුවෙ ආතල් 1 පොඩි ඇවුන්ට අකැපද?????


"නායකත්ව පුහුනුව ඔන්න පටන් ගන්නවා... " මේ ලගකදි දවසක් උදේ පාන්දර දෙරණේ උදේට පත්තර කියවන පොඩි කොලු ගැටයා මහා හයියෙන් කෑගැහුවා.
සමාන්‍යයෙන් උදේට අපේ ගෙදර TV එක දාන්නේ පාරේ යන මිනිස්සුන්ටත් එක්ක.අම්මා උදේ 4ට විතර නැගිට්ටා විතරයි,අපේ ගෙදර එතෙක් පැවති සාමකාමී බව අතුරුදහන් වෙනවා.හාමුදුරුවෝ පිරිත් කියන්න පටන් ගන්නවා.පත්තරකාරයෝ සිරස්තල කියනවා.මේ ඔක්කොම සෙල්ලම් අපි 3දෙනාව ඇදෙන් බිමට බස්සන්න.අපිනම් බහියි.
අනිත් වැඩ වලදි හාත්පසින් වෙනස් උනත් නිදා ගැනීම කියන පොදු සාධකේදි මමයි, oගිලා දෙන්නයි අතරේ පුදුම සහෝදර කමක් තියෙන්නේ.
ඒ කොහොම උනත් අර සිරස්තලේ එක්ක මම අවුරුද්දක් අතීතේට ගියා.
ඕකට යන්න ඉස්සෙල්ලා අපේ කට්ටියට ලොකු ලොකු ප්‍රශ්න තිබුනා.
army එකේ වගේ punishment දේවිද?පැය 3ක් 4ක් විතරක් නිදාගන්න දේවිද
හැබයි මටනම් ඔය එක ප්‍රශ්නයක් වත් තිබුනේ නෑ.army එකේ නිසා හොදට කෑම තියෙනවා කියලා දැනගෙන හිටියා.ඉතින් තව මොනවද?
තිබුන එකම සැකය තමයි අව්වේ exercise කරලා මගේ සමේ පැහැපත් බව නැති වෙයිද කියන එක.
යන්න ඉස්සෙල්ලා ගේන්න කියලා තිබුන අර ලොකු බඩු ලිස්ට් එක එකතු කරන එක තමයි එපා කරපුම වැඩේ.බඩු ටික එකතු කරගෙන ඒකට යන්නම ගත්ත යට රෝද තියෙන තඩි බෑග් එකට පැක් කරගෙන ඔන්න ගියා.
කෑම්ප් එකට යන අතර මගදි මම කල්පනා කර කර ගියේ මම අදුරන එවුන් ඇවිත් ඉදිවිද කියලා.ආව අය කවුද කියලා දන්නැති උනාට camp එකට පලවෙනියෙන් යන එකානම් මම දැනගෙන හිටියා.
වෙන කවුරුවත් නෙමෙයි අපේ මයිනා.මූට මේකට යන්න තිබුනේ විභාගේ පාස් වෙන්න තිබුනට වඩා උනන්දුවක්.පලවෙනි batch එක කෑම්ප් යන්නත් ඉස්සෙල්ලා මූ බඩු ගන්න පටන් ගත්තේ.
මම කෑම්ප් එකට  ගිහින් මට නියමිත වෙලා තිබුන බිලට් එකට ගොඩ වුනා විතරයි.කිව්වා වගේ මයිනා ඉන්නවා කන ගාවට දත් පෙන්නගෙන හිනාවක් දාගෙන.උගේ කන් දෙක ලගින් සතුට බින්දු බින්දු බේරේනවා.ටිකක් කිට්‍ටුවෙලා බැලින්නම් කෙළ. නොදකින්!!!!

මට හම්බුනේ උඩ ඇදක්.මොනවා කරන්නද? කැම්ප් එක ඉවරවෙනකන් බෙල්ල කඩා ගන්නැතුව ඉන්න එක තමයි දැන් තියෙන ලොකුම ගේම. පලවෙනි දවස නිසා විශේෂ මුකුත් කරන්න තිබුනේ නෑ.
ටිකක් හවස් වෙලා ගියා බාත් රූම් එක පැත්තේ.ෂවර් තියෙනවා 6ක්.ටැoකි 2කුත් තියෙනවා.වැසිකිලි 4 ගානේ මුහුනට මුහුන ලා තියෙනවා දොර වල් සහිතව.
පලවෙනිම නෑම කියලා හිතාගෙන ෂවර් එක ඇරියා.හරි සැරට තිරසට අඩි 2ක් විතර දුරට වතුර විදිනවා.අපිත් ගිහින් ආසාවෙන් නෑවා.ඒ නාද්දී අපිට කවදාවත් හිතුනෙ නෑ ඒෂවර් වලින් නාන පලවෙනි හා අවසාන දවස ඒක වෙයි කියලා.එදා ඉදන් දවස් 21ක් අපි බලන් හිටියා......ආයිත් කවදාවත්  ඒ ෂවර් වලින් වතුර ආවේ නෑ......ටැoකි පිරුනෙත් ඉදලා හිටලා.......ඒක නිසා අපේ සමහර එවුන් නෑවෙත් ඉදලා හිටලා.
කොහොම උනත් පලවෙනි ‍රැය ඉවර වේගෙන යනවා.යථෝක්ත වෙලේ මම සැපට නිදි.
මට මොකද්දෝ අමිහිරි සද්දයක් ඇහෙන්න පටන් ගත්තා.ගණන් ගත්තේ නෑ.මේ මගුල නවතින්නෙත් නෑ.මගේ එහා පැත්තේ ඇදේ හිටපු පිසාචයත් පෙරලෙනවා.එකා දෙන්නා ඇහැරෙනවා.
ටිකක් වෙලා යද්දී තේරුනේ.අපේ ඉස්සරහා ඇදේ එකා එලාම් එක තියලා නීදාගෙන තියෙන්නේ.රෑ නිසා මුලු බිලට් එකටම ඇහෙනව.එච්චර සද්දෙට එලාම් එක තියාගෙනත් මූ සැපට නිදි.වෙන එකෙක් නැගිටලා ගිහින් එලාම් එක off කරා.
ඔන්න දැන් එහෙන් මෙහෙන් මිහිරි වදන් තෙපලෙනවා ඇහෙනවා.අරකාගේ ආත්තම්මට,ආත්තම්මගේ ආත්තම්මට පවා පින් අනුමොදන් වෙනවා.මමත් නිකමට වගේ වෙලාව බැලුවා.
මගේ අහින්සක කටිනුත් අනිච්චානුගව මහා නරක වචනයක් පිට උනා.වෙලාව 3යි.මම වැඩිය බනින්න ගියේ නෑ නරක වචන කියලා මගේ කිරි දත් ටික හැලුනොත් කියලා.තරහා වැඩිකමට පොඩි බරකුත් ආවා.කොහොමහරි මෛත්‍රී භාවනාව විනාඩි 5ක් කරලා නිද ගත්තා.
පහුවදා උදේ මූණ හෝදන තැන තමයි හොදම යුද්දේ.පට්ට පෝලිමක් තියෙන්නේ.
මමයි අනිත් ගිහානයයි කොහේ ගියත් ෂේප් න්‍යාය පාවිච්චි කරන අය නේ.බොන්න දීපු වතුර බොතල් ගොඩෙන් බෝතලයක් අරන් මූන හෝදන්න ගත්තා.වට පිට බලද්දි කොල්ලො අපි දෙන්නා දිහා හරි හිරිකිතෙන් බලනවා.
මම බැලුවා කට වටේ ටූත් පේස්ට්ද කියලා.නෑ... කලිසමේ zip1 එක ඇරලද බැලුවා.
ඒත් නෑ... බැලින්නම් පානීය ජල බෝතලෙන් මූන සේදීම මගින් රටේ ඇතිවන ආර්ථික අර්බුදය හා භෞමික අඛණ්ඩතාවය පිලිබද ගැටළු ගැන උන් හිතලා තියෙන්නේ.
කොහොම උනත් සතියක් යද්දි හැම එකාම කරන්නේ අර ක්‍රමයම තමයි.
මූන හේදුවට පස්සේ අපිව දානවා පිට්ටනියට උදෑසන ශාරීරික අභ්‍යාස සදහා.. ස්ලෝලි අප්.. ස්ලෝලි ඩවුන්... ස්ලෝලි..ස්ලෝලි...
ඔන්න කස්ටිය exercise කරනවා.ඊට පස්සේ හැමොම දිව එලියට දාගෙන,සෙම පෙරාගෙන කෑම්ප් එක වටේට දුවනවා.පැයක් විතර කොරා.. 
ඊට පස්සේ දාඩිය නාගෙන කට්ටියම කන්න යන්න සෙට් උනා.
ඉස්සරහින් ගියපු කොල්ලා එක පාරටම මගෙන් අහපි "මචo උදේ අරහම රවුමක් දිව්වම ඇගට මාර ‍ෆිට් නේ."
මමත් පපුව පෙරට දමා නිකට පොලවට සරල සමාන්තරව ඔසවා "ඔව් බo ඇගට මාර සනීපයි" කිව්වට මොකද ඒ ටික කියා ගත්තෙත් බොහොම අමාරුවෙන්.කටේ කෙල නෑ.කකුල් 2 පණ නෑ.සියොලග දැවෙනවා..
ඊට පස්සෙ තියෙන්නේ දවසම නිදගන්න.ඒ කියන්නේ ලෙක්ච්ර්ස්.
AL කාලේ class එකෙ stage එකට නග්ගාවි කියලා බයට හොරාට කිරා වැටිච්ච උන්ගේ lecture 1 අතරේ නිදා ගන්න තිබුන සිතේ බිය නැති කරපු එක ඔය පුහුනුව මගින් රජය කරපු ලොකුම සේවයක්..එකේ ප්‍රතිලාබ අදටත් අපි භුක්ති විදිනවා.

ඔයට අමතරව අපිට තිබුනේ DJඑකක් ආවම නටලා, දෙන දෙයක් කාලා ඉන්න තමයි.
මුලින්ම මම හිතුවේ මේකෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැත්තේ මම විතරයි කියලා.එත් campus ඇවිත් බැලුවම තමයි මට තේරුනේ කෑම්ප් ගියපු අයගෙන් 99% ආතල් එක ගත්තා මිසක් වෙන ඒකෙන් ගත්ත දෙයක් නෑ කියලා.අපිට සති 3ක ආතල් 1ක් දෙන්න මිලියන ගානක් වියදම් කරපු එක තමයි හොදම වැඩේ.ඊටත් වඩා හොදම වැඩේ ඒක දිගටම කරන් යන්න හදන එක.
මේ ඒකේ ප්‍රයෝජනයක් නැති පැත්ත.ඒකේ කනගා‍ටුදායක  පැත්තකුත් තියෙනවා.මේක පවත්වන්න ඉස්සෙල්ලා SB කිව්වේ මේකට ගියේ නැතොත් campus ගන්නෑ කියලා.ඒක නිසා හැම එකාම කොහොමහරි යන්නත් එපැයි.ගේන්න කියපු බඩු ලිස්ට් එක ගන්න යනවා10,000ක් විතර. නිකවැරටියෙ කැම්ප් එකේ හිටපු කොල්ලෙක් මේකට ගේන්න දීපු බඩු ලිස්ට් එක ගන්න ඉඩමක් උගස් කරලා.එහෙම කරලා අවා කියලා අන්තිමේ මෙක campus එන්න අනිවාර්ය දෙයක් උනෙත් නෑ.එහෙම කරන්න නීතියෙන් අවසරයකුත් නැතිලු.
තව මගේ කුරුණෑගල ඉන්න යාලුවෙක්ගෙ නoගිට ඇවිත් තිබුනේ රන්ටැබේ කෑම්ප් එකක්.ඒ නoගිට  බඩු ගන්න, වෑන් එකකින් ගිහින් දාන්න,ආයිත් එක්කන් එන්න මේ ඔක්කොටම 30,000කට වඩා ගිහින් තිබුනා.
මේක නිසා භාණ්ඩාගාරේ මුදල් නාස්ති උනාට අවුලක් නෑ.ඕවා ඒකේ තිබුනත් කවුරුහරි ගහන් කන එකනේ.
ඒත් ඉතින් බොරුවට රටේ මිනිස්සුන්ගේ සල්ලි, කාලය කාපු එකනම් ඉතින් ගොන් පාර්ට්.
මේ මොනවා උනත් තව මාස කීපයකින් ලoකාවේ campus පුරා ‍රැව් දෙන වාක්‍යයක් කියලම මම නවතින්නම්.
"යකෝ උබලා වගේ නෙමෙයි අපි army training එකකුත් අර ගෙන මේකට ආවේ"  ;)

මේක කියවලා හොදයි කියලා හිතෙනවනම් මගේ බ්ලොග්1 follow කරලා සප් 1ක් දෙන්න.පස්සෙන් එන කස්ටිය කියලා තියෙන තැන click කරන්න

Saturday, September 1, 2012

Strike කාලයේ මගේ ජීවන චක්‍රය..

ඉර පායලා පාට පාට මල් පිපිලා.. ඒත් මම තාම නිදි..
     
 'චූටි පුතා තේ එක බොන්න නැගිටලා සීතල වෙනව'
ඒ මව් රැජිනගෙ හඩයි. තේ හදා ඇත්තේ මේ දැන්ය.
සමාන්යයෙන් අම්මා චූටි පුතා කියා තේ බොන්න කියන්නෙ තේ සැදූ විගස කරන පලමු සිහි කැදවීමෙදි පමනි.දෙවන තුන්වන සිහි කැදවීමෙදී චූටි පුතා, ලොකු එකා,මී හරකා බවට පත් වේ. බොන්න නැගිටින්න යන පදද නැගිටපිය, බීපිය ලෙස පරිණාමයවේ.
මී හරකා alert එක එන්නෙ තේ එකෙහි උෂ්ණත්වය කාමර උෂ්ණතවයට සමාන වීමට මදක් ඉස්සෙල්ලාය.එවිට අවදි වීමෙන් කාලයත්, තේ එකත් ඉතිරි වේ.
 'ඒයි නැගිටලා තේ එක බොනවා.අපිටත් කරදරේ' 
ඒ ලොකු නoගිගෙ හඩය.කවදාවත් නැතුව නoගි තේ එක ගෙනැල්ලාය. අද අනිවා නoගිට කොහේහරි මට කිය ඇරලවා ගැනීමට තිබෙනවා විය යුතුය. බොහොවිට නoගී යන්නේ යාලුවන්ගෙ ගෙදරකය.නoගිට තවම සිටින්නේ ගැහැනු යාලුවන්ය.මගේ මෝඩ නoගි සිතන්නෙ එසේ එක්කගෙන යාම මට මල වදයක් කියාය.
  තේ එක බී අවසන් වූ මම කෝප්පය සොද අපසු හැරුනෙමි. 
" ආයිත් ගුලට වඩින්නෙ නැතුව මිදුල අතුගාලා දානවා. කකා බිබී නිදාගන්නේ" 
අම්මා ඉස්සර සිට මගේ කාමරයට කියන්නෙ ගුල කියාය. ඒක හරි වැරදිය.
අපේ ගෙදර විශ්ව ගම්මානයට සම්බන්ද වන්නේ මගේ කාමරය හරහාය.යාපනය, කුරුණෑගල, නුවර, හම්බන්තොට ආදී රට පුරා නගර වලින් දුරකතන ඇමතුම් එන්නේද මගේ කාමරයටය. .ගුලට එහා පැත්තේ ඇති නිවසේ දුරකතනයට එන්නේ දිස්ත්රික්කයෙ ඇමතුම් පමනි.
 AL කාලයේ අපේ සෙට් එකේ කොල්ලන්ට කෙල්ලන් සෙට් කිරිම plan කරන ස්ථානයක් ලෙස මෙය ප්රකටව තිබිණ.නමුත් මෙහි plan කල case 5ක් අඛණ්ඩව අසාර්ථක වීම හා ඉන් 2ක් භයානක ප්රතිඵල ගෙනදීම නිසා මගේ සේවාදායකයන් නැති වී ගියේය. කෙසේ වෙතත් අම්මාට මෙය ගුලමය.
 කෝප්පය එල්ලූ මම (මම තාම ඉන්නෙ කෝප්පේ හොදපු තැන) ගුල ගැන මදක් කල්පනා කලෙමි.බල්ලන්, පූසන්, මී හරකුන් ගුල් වල ජීවත් වන්නෙ නැත.ගුල් වල ඉන්නේ හාවුන්, ඉත්තෑවුන් වැනි සතුන්ය. හාවා සලකා බැලීමට මම තිරනය කලෙමි.
හාවා යනු අහින්සක බවේ සන්කේතයයි .තවද "හා අම්මාට උගේ පැටියා මැණිකකි" කියා පුරාන පඩිවරයෙකු කියනවා මම අසාගෙන සිටියෙමි.අම්මා අනිවා අදහස් කර ඇත්තේ හාවාය.
 මගෙ සිත නිරාමිස සතුටකින් හා මව් සෙනහසකින් overflow වෙන්නට පටන් ගත්තේය.කේන්ති ගියවිට පවා කියන වචන වලින් දරුවන්ට ආදරය ප්රකාශ කිරිම අම්මලාගේ හැටිය
.මම වහාම මිදුල අතු ගැමට තීරණය කලෙමි.ඉන්පසු කුස්සිය පුරා ඉදල සෙව්වද එහි තිබුනෙ කොස්සක්ය.කොස්සෙන් මිදුල අතුගෑමෙන්කොස්ස සවුත්තු වන නිස මම නැවත ගුලට වැදුනෙමි.
 ඊයේ රෑ පෙරවූ රෙද්ද හා මදුරු දැල අද රෑටද ප්රයෝජනයට ගැනීමට පහසුවෙන පරිදි එලෙසම තැබීමට තීරනය කල මම සුපුරුදු car game1 ගැසීමට පටන් ගත්තෙමි.
මේ game1, strike 1ට පෙර මට දුන්නේ ඉසුරුවාය.මම එ අවස්ථාවෙ ඌට ස්තුති කල නමුත් එය නිවාඩුව තුල මගේ පාඩම් කිරීම කඩාකප්පල් කර batch top කිරුල මගෙන් උදුරාගැනීමට එකා යෙදු උපක්රමයක් බව මම පසුව වටහා ගත්තෙමි.
 '' හැමදාම ඔය එකම race1 යන්නේ ගෙදර වැඩක් කරන්න බැරිද?''
 අම්මාගෙ හිස දොර රෙද්ද අතරින් මතුවිය. හැමදාම එකම race1 වෙන්නේ කොහොමද?මේක හොරු සෙට් එකක් පරාද කර උන්ගෙ ලොක්ක ගාව ඇති BMW එක ගන්න ගහන පට්ට අමාරු ගේමකි.
මම අමාරුවෙන් race1ක් දිනා හම්බ කරගන්න මුදල් වලින් අලුත් car ගැනීම, ගේම එන්න එන්න අමාරු වීම ගැනඅම්මාට කෙතරම් කිව්වත් ඇය වටහා නොගන්නීය.
 ඒ කාන්තාවන්ගෙ හැටිය. game එකක,cricket match එකක ඇති සoකීර්ණත්වය හා වැදගත්කම ඔවුන්ට තේරෙන්නේ නැත.දවසක් අපේ නoගී මේ 2ක හා කැලෑවල තියෙන ගස් ගෙනත් පොච්චී වල ඉන්දා වද දීම සමාන කරන්නට ගොස් මගෙන් හොද හැටි අසා ගත්තාය.
දවල් කාලය තුල මම පාරට බහිනවා සැහෙන අඩුය.ඉස්සර AL රිසල්ට් ආපු කාලයේ මම පාරෙ යන විට මිනිස්සු පාරෙන් අයින් වී මට ඉඩ දුන්නෝය.සරම කැසපට ගහගෙන හිටි මිනිස්සු සරම පහත දැම්මේය. (මුලු සරමම නෙමෙයි.යට පට)නමුත් දැන් වරදිලා හෝ පාරේ ගියොත් කින්ඩියට හිනාවී මල්ලී තාම Strike ඉවර නැද්ද, මල්ලි ගියපු දවසෙ ඉදන් strike නේ අසති. 
දවල් කාලයේ game ගැසීමට අමතරව කතා පොත් කියවීම,නිදා ගැනීම වැනි හොද පුරුදු රාශියක් මගේ කාලසටහනේ ඇත.
මේ ලගකදි පෙරහෙර බලන්න set වූ විට අපෙ කොල්ලො ඔක්කොම කරන්නේ මෙ ටික බවත් පාඩම් නොකරන බවත් දලදා හිමි අසලදි කිවෝය. 
කෙල්ලො ටික නම් පන දාගෙන පාඩම් කරනවා ඇති කිය එකෙක් පැවසූ අතර අනිත් උන් එය එක හෙලා අනුමත කලේය.එවැනි වැඩ අපි තරයේ හෙලා දකිමු.
 කතා ඇති.හෙටත් මගේ සුපුරුදු කාල සටහන ක්රිදයාත්මක කිරීමට තිබෙන නිසා පරක්කු නොවී නිදා ගත යුතුය. 
සැලකිය යුතුයි; මෙහි එන මම යන චරිතය මන:කල්පිත චරිතයකි.

strike කාලේ ජීවන චක්‍රය 2 කොටස මෙතනින් ගොස් බලන්න..